ලක්මිණි නදීෂා – කොළඹ
වැලිගම පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමකට අදාල සැකකරුවන් වශයෙන් නම් කර සිටින ධූරයේ වැඩ අත්හිටවන ලද පොලිස්පතිවරයා හා තවත් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධ විමර්ශන වලට අදාළ හිටපු පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ගරු අභියාචනාධිකරණය මඟින් එම පෙත්සම පිළිබඳව සලකා අද (17) දින ඊට අදාලව තීන්දුව නිකුත් කිරීමට නියමිතය.
2023.12.31 වන දින වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මාතර ගරු මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පොලිස්පති ධුරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025.02.27 වන දින ගරු අධිකරණය මඟින් නියෝග කර තිබිණි.
එම නියෝගයෙහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා හා වැඩබලන පොලිස්පතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.
මාතර ගරු මහේස්ත්රාත් අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝගයට එරෙහිව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ගරු අභියාචනාධිකරණය මඟින් එම පෙත්සම පිළිබඳව සලකා අද (17) දින ඊට අදාලව තීන්දුව නිකුත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් ගරු අභියාචනාධිකරණය වෙතඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ගරු නීතිපතිතුමා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් ගරු අභියාචනාධිකරණයේදී ඇති කර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්රකාශ සටහන් කිරීමටත් නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබාදී ඇත. මෙම රිට් පෙත්සම 2025.03.21 වන දින ගරු අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිතය.
මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශ බන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
