වැලිගම තරංග ගුණරත්න
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් මත විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් බි.ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (11 ) නියෝග කළේය.
ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනි දින අලුයම වැලිගම පොලිස් වසමේ පැළෑන ප්‍රදේශයේදී හෝටලයක් අසල වෙඩි තැබීමේ සිද්ධිය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකුට තුවාල සිදුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අට දෙනෙකුට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වෙන අතර ඒ අනුව හිටපු පොලිස්පති ඇතුලු පොලිස් නිලධාරින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉකුත් පෙබරවාරි මස 27 වෙනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කොට තිබිණි.
කෙසේ නමුත් හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැක කටයුතුු ස්ථාන දහයක් (10 ) පරීක්ෂාවට ලක් කොට තිබිණු බවත් තවද ස්ථාන දහ අටක් සඳහා බුද්ධි නිලධාරින් යොදවා තිබුණු බවට අද (11 ) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි
මේ දක්වා කාලය තුළදී ඔහු අත්අඩංගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූ පසුබිමක හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නිතිඥ මාර්ගයෙන් ඊයේ (10) දින අභියාචනාධිකරණ නියෝගයක් ඉල්ලා සිටින ලදි.
එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11) දින සිදු කළ ඉල්ලීම මත ඔහු දුටු තැන අත්අඩංගුව ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් බි.ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය .
