හත්කෝටියක් වංචා කළ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් තුන් දෙනෙක් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය

පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්  දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක (71645226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කර වැඩ තහනමට ලක්වු ලේකම්වරයෙකු, තාක්ෂණ නිලධාරියෙකු සහ විෂය ලිපිකරුවෙකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා 01දා නියෝග කළේය.

2016 සහ 2017 යන වර්ෂවල සබරගමු පළාත් සභාවේ පළාත් පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව වෙත මෙම මුදල් ලබාදි තිබුණි.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරි වයි.එම්.පී බණ්ඩාර, හිටපු ලේකම්වරයෙකු වු සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර සහ හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර යන තිදෙනා මෙසේ රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබීය.

සැකකරුවන් දෙදෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. 31දා අනෙක් සැකකරු වු  හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර යන අය අත්අඩංගුවට ගැනිණි.

සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන  අයවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ අංශය වෙත 2023 ජනවාරි 20 දින පැමිණිලි කර තිබුණි.

මෙම වංචාව සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත මූලික විමර්ශනයක් පවත්වා සැකකරුවන්ගේ වැඩ තහනම් කෙරිණි.

මාර්ග ව්‍යාපෘති පහළොවක්, පස් කපන මාර්ග ව්‍යාපෘති දහතුනක්, කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ මාර්ග දොළහක්, තාරයොදා සංවර්ධනය කළ මාර්ග දොළහක්, ග්‍රෙවල් යොදා සංවර්ධනය කළ මාර්ග හයක්, ක්‍රීඩා පිටි දොළහක් යන ව්‍යාපෘති වලින් මෙම මුල්‍ය වංචාව සිදුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකකය (03) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.එම්. සාජිත් මහතා විසින් සැකකරුවන්ට එරෙහිව බී වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙකී පැමිණිල්ල අනුව විමර්ශන තවම අවසන් නැති බව පැමිණිල්ල විසින් අධිකරණය වෙත කරුණු දැක්වීය. ඒ අනුව සැකකරුවන් රිමාන්භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය අප්‍රේල් 08දිනට නියම කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *