සංජීවනී පද්මසේන
අද පිංබර පොසොන් පොහොය දිනයේ වනලෝලී සහෘද හිතවතුන් වෙත ප්‍රීතිදායක පුවතක් රැගෙන එන්නේ හද පිරි සතුටිනි.
පසුගිය මාර්තු මස හත් වෙනි දින හබරණ මරදන්කඩවල මාර්ගයේ ගලපිටමඩ ප්‍රදේශයේ දී ලොරියක ගැටී දළයක් කඩා ගත් සුමේධ සියලු දෙනාගේම සිත්වලට රැගෙන ආවේ දැඩි කම්පනයකි.
සුමේධට ප්‍රතිකාර කිරීම පිණිස වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක්ම රිටිගල වනය සිසාරා සුමේධව හෙව්වත් සුමේධ ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට ලැබුණේ නැත.
සුමේධගේ සංක්‍රමණ මාර්ග හා සැරිසරණ ප්‍රදේශ කොතරම් විපරම් කළත් නැවත සුමේධගේ දසුනක්වත් නොදුටු හෙයින් ඔහුට අනතුරක් සිදු වූවාදෝ සියලු දෙනාට තිබුණේ විශාල වේදනාවකි.
එහෙත් අද දින මින්නේරිය වැව් ඉස්මත්තේ අතිශයින් සුන්දරව සුමේධව දක්නට ලැබුණු බව වාර්තා වීම සොබාදහමට හා වනසතුන්ට ආදරය කරන සියලු දෙනාට සතුටු කඳුළු නංවන පුවතක් වූයේ නිතැතිනි.
දළයක් අහිමි වුව ද අභියෝග ජයගෙන නැවත මින්නේරිය වැව් තෙරට පැමිණි සුමේධ ඇත් රජුනි අපි ඔබට දීර්ඝායුෂ පතමු.

