පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
(බත්තලන්ගුන්ඩුව දූපතේ සංචාරයකින් පසු)
කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දූපත් සමූහය අතරින් සුන්දරම දූපත වන්නේ බත්තලංගුණ්ඩුව දූපතයි. දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් එම දූපතට පියනගන්නේ එහි සුන්දරත්වය විඳගැනීමටයි. කෙසේ වෙතත් එහි වෙසෙන දූපත් වාසීන්ගේ ජීවිත නම් සුන්දර නැති බව ඔවුන් සමග ගත කළ හෝරා කිපය තුළදි මනාව පැහැදිලි විය.
මුහුදින් හා කලපුවෙන් වටවු බත්තලංගුණ්ඩුව සොබාදහමේ අපුරුතම නිර්මාණයකි .එතරම් එය මනස්කාන්තය. එහි දිනක් ,දෙකක් ගත කිරීමට යන සංචාරකයින්ට එය සුන්දර පාරාදීසයකි..
නමුත් මෙම දූපත් වාසින් මෙහි වාසය කරන්නේ බරපතල ප්‍රශ්න රැසක් මැද ගිණියම් කතරක දිවි ගෙවන මිනිසුන් මෙනි.
මෙම දූපත් වාසින්ගේ ප්‍රධාන ජීවිකාව වන්නේ ධීවර කර්මාන්තයයි. හිමි මූලික අවශ්‍යතා රැසක් අහිමිවි එහි දිවිගෙවන ජනතාව අද දවසේ පත්ව ඇත්තේ අන්ත අසරණ තත්වයකටය.
කල්පිටිය ධීවර වරායේ සිට පැය කිපයක මුහුදු ගමනකින් පසු සැතපුම් තිස් අටක දුරක දුරකින් පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතට ළගා විය හැකිය.
බත්තලන්ගුණ්ඩුව දුපත් වාසින්ගේ උපන් ගම්බිම් මීගමුව වෙන්නප්පුව සහ හලාවත යන ප්රදේශයි. එහි වෙසෙන සියල්ලෝම සංක්‍රමික ධීවරයන්ය.
දූපත් වාසීන්ගේ අවශ්‍යතා සදහා සියලු සැපයුම් සිදුකරන්නේ මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රා මගින්ය. පවුල් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන මෙම දූපත්වාසීන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ මිනිසාගේ ජීවිකාව පවත්වා ගැනීමට අවශ්‍ය මූලිකම අවශ්‍යතාවය වන ජලයයි.
ඔවුන් පානීය ජලය සපයා ගන්නේ දූපතේ බිම්කඩක වලවල් හාරා ඒවායෙන් ලබා ගන්නා ජලයෙනි. පෙරා ගන්නා මෙම ජලය උණුකර නිවා බීමට ගන්නා බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් මෙම ජලය භවිතා කිරීමේදී ඇතැම් විට සෞඛ්‍ය ප්‍රශ්න ද ඇතිවන බවද ඔවුහු පෙන්වා දෙති. වෙනත් අවශ්‍යතා ,ස්නානය කිරීම ඇතුළු දෛනික සියලු කටයුතු සිදු කරන්නේද මෙවැනි වලවල් හාරා ගන්නා වූ ජලයෙනි.
දූපත්වාසීන්ගේ තවත් ගැටළුවක් වන්නේ විදුලි සැපයුමයි. විදුලිය නොමැතිවීමෙන් ඔවුහු විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති. යමක් කමක් ඇති සුළු පිරිසක් සෝලා භාවිතයෙන් විදුලිය සපයා ගනී.
බෝට්ටු මගින් නිවෙස් වලට ගොස් ආපසු පැමිණීමට එක් අයෙකුට වරකට රුපියල් 2500 ක පමණ මුදලක් වැය වන බවයි පවසන්නේ. මේ අනුව දුර ප්‍රදේශවල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලට ගොස් නැවත දූපතට පැමිණීමට රුපියල් 3000 කට අධික මුදලක් වැය වන බවද ඔවුන් පෙන්වා දෙති. මෙවන් දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන ඔවුන්ගේ පවතින ගැටළු වලට මෙතෙක් පැවති කිසිම රජයකින් විසඳුම් ලබා දීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසති.
මීට වසර ගණනාවකට පෙර ආරක්ෂක අංශ මැදිහත්වී පවත්වාගෙන ගිය පාසලද වැසී ගොස් දිගු කලක්ය. හලාවත අග රදගුරු දේවස්ථානය මැදිහත්ව දරුවන් අධ්‍යාපනයට යොමු කර ඇති බවයි දෙමාපියෝ පවසති.
එහෙත් ඇතැම් පවුල් වල දුවා දරුවන්ට අධ්‍යාපනය අහිමිව ඇත්තේ පවතින ආර්ථීක අපහසුකම් නිසාවෙනි. හදිසි අවස්ථාවකදී ඔවුනට ප්‍රතිකාර ලබා ගැනීමටද ප්‍රථිකාර මධ්‍යස්ථානයක් නොමැත. බොහෝ අවස්ථා වල රෝගීන්ට ප්‍රථිකාර ලබා දෙන්නේ නාවුක හමුදාවේ මැදිහත් වීමෙනි.
ඔවුන් සිය ධීවර කටයුතුද පවත්වාගෙන යන්නේද ගැටලු රැසක් මධ්‍යයේ බව ධීවරයෝ පවසති. ධීවර සහනාධාරය හිමි වූවත්, විශේෂයෙන් දැල් ආම්පන්නවල මිල ඉතාම අධික බව පෙන්වා දෙමින් ඔවුන් පවසන්නේ තහනම් දැල් භාවිතයෙන් මත්ස්‍ය සම්පත නෙලා ගැනීමෙන් මත්ස්‍ය පැටවුන් විනාශ වී යන බවය.
මෙවන් ගැටලු රැසක් මධ්‍යයේ ජීවත් වෙන ඔවුනට යම් සහනයක් වන්නේ නාවුක හමුදාවෙන් ලබාදෙන සහයෝගය බවයි ඔවුන් කියා සිටින්නේ.
මෙවර පැවැති ජනාධිපතිවරණයට ද ඔවුන්ට ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණීමට සිදුවූයේ තම වියදමින් ධීවර යාත්‍රාවලින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණීමට බෝට්ටුවක එක් ගමන් වාරයකට රුපියල් 8000 ආසන්න මුදලක් වැය වූ බවද කියති.
ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශාල ප්‍රමාණයේ යාත්‍රා යොදා ඇති අතර, එක් ගමන් වාරයකට රුපියල් 1500ක් පමණ වැය වේ. බඩුබාහිරාදිය රැගෙන එන්නේද එම යාත්‍රා මගිනි. ඒවා මිලදී ගැනීමේදී වැඩි මුදලක් ද වැය වන බවද ඔවුහු පවසති.
මෙවන් ගැටලු සමූහයක් මැද ජීවත් වෙන මෙම දූපත්වාසින් ට අන් අයට මෙන් සම අයිතියක් ලැබෙන්නේ කවදාද? ඔවුහු නෙත් අයා බලා සිටිති.
දූපතෙහි ජීවත්වන ඈන් නිරෝෂා මහත්මිය තම අසරණ භාවය මෙසේ ප්‍රකාශ කළාය.
“අපිට තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් එයින් එකක් තමා වතුර සපයා ගන්නා හැටි අපි හරි දුකක් විඳින්නේ. අපි ඉන්න තැනින් කිලෝමීටරයක් විතර දුරකට ගිහිල්ල වලවල් හාරලා වතුර ගේන්නෙ. ඒ වතුර බීපුවහම සමහර වෙලාවට එක එක ලෙඩ හැදෙනවා. කල්පිටියේ සිට බෝට්ටු මගින් රැගෙන එන ජලය මිලදී ගැනීමට හැකියාවක් නෑ අපිට. බැරල් එකක් රුපියල් 800 යි. ලීටර් පහේ කෑන් එකක් රුපියල් 200 යි.
මේ ගැටළුවට ජනාධිපතිවරයා අවධානය යොමුකරළ විසඳුමක් ලබල දෙයි කියලා අපි හිතනවා.
සුදර්ශනී මල්ලීකා මහත්මිය මෙලෙස පැවසුවාය.
“මගේ ගම මීගමුව. මම මේ දූපතේ ඉන්නේ අවුරුදු තිහක ඉඳන්. එදා ඉඳන් මේ ගැටලු බලන්න ආණ්ඩු වල මැති ඇමැති ගොල්ලන් ආවා. අපේ දුක අහලා හරි දුකින් ඒගොල්ලො මෙහෙන් පිටත් වෙන්න. හැබැයි ගියදා ඉඳන් කිසිම පිළිතුරක් නෑ. මේවා බොරු පොරොන්දු . අපි ඒවා අහල හෙම්බත් වෙලා ඉන්නේ. අඩුගානේ හොඳ වතුර උගුරක් බී ගන්න බැරුව මොන දුකක්ද අපි විඳින්නේ? අපි හිතනවා මේ රජය අපි ගැන බලලා යමක් කරයි කියලා.,,
“අජීත් ප්‍රනාන්දු බත්තලන්ගුන්ඩුව ධීවරයෙකී. මේ ඔහුගේ හඩයි,,
විදුලිය නැතුව අපි අඳුරෙ ඉන්නෙ. අපි දන්නවා ප්‍රධාන විදුලිය අපිට දෙන්න අමාරුයි කියලා නමුත් ඒ ගැන සුළු කොට නොතකා දුපතට එන්න පුළුවන් ආකාරයේ විදුලිය ලබා දෙන්න හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ දේශපාලඥයින් නිලධාරින් ඇවිල්ලා විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා කිව්වා . මේ වගේ ගොඩක් දේවල් කියලා අපිව සනසලා යනවා . නමුත් අපි තාමත් අඳුරේ. මේ දූපතේ ගොඩක් ඉන්නේ දුප්පත් මිනිස්සු. එදාවේල කන මිනිස්සුන්. ඒ අයට මොනවා හරි කරගන්න අඩු ගානේ කරන්ට් එක ලබාදෙන්න කියලා තමා අපි ඉල්ලා සිටින්නේ.
“සුනිල් ප්‍රනාන්දු මහතා වෘත්තීය ධීවරයෙකී ඔහු මෙලෙස ප්‍රකාශ කළේය.
මේ රස්සාව කරන්න පටන් අරන් අවුරුදු විස්සකට වැඩියි. අපිටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපිට මේ රස්සාව හරියට කරගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.. ඒ කියන්නේ ධීවර ආම්පන්න වල මිල ඉතා ම වැඩියි. සියලුම ධීවර ආම්පන්නවල මිල පෙර පැවති මිලට වඩා හතර ගුණයකින් විතර වැඩි කරලා තියෙන්නේ. ඒව අඩු කරල පහසුකම් දුන්නොත් අපිට මේ රැකියාව කරගන්න පුළුවන්. තව එකක් තමයි මේ තහනම් දැල් පාවිච්චි කරන එක තහනම් දැල්වලින් මේ මාළු පැටව් මැරෙනවා. මෙහෙම ගියොත් මාළු ටික විනාශ වෙනවා. මං හිතනවා අපි වගේ දුප්පත් මිනිස්සු ගැන හැඟීමක් ඇති ජනාධිපතිවරයෙක් දැන් පත්වෙලා ඉන්නෙ. හදිසියේ මේ ගැටළු වලට විසඳුම් දෙන්න බැරි වුනත් අපිට ටික කාලෙකින් හරි විසඳුමක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.,,
අයිරින් මැටිල්ඩා මහත්මිය තම සැමියා සමග එක්ව දූපතේ ජීවිතය දිය කරන කාන්තාවකී.මේ ඇගේ හඬයි.
මම දූපතේ රස්සාව කරන්නේ අවුරුදු විස්සක පමණ කාලයක ඉඳ්න්. ඒ කාලෙ ඉදන් මේ දූපතට මැති ඇමතිවරු කොච්චර ආවද? හැබැයි පොරොන්දු විතරයි. අද වන තුරුත් විසඳුම් නෑ. හැමදාම කළේ අපිව රවට්ටන එක. අපි හම්බ කළොත් විතරයි අපි කන්නේ. දූපතේ ඉස්සර ඉස්කෝලයක් තිබුනා. දරුවන්ට ඉස්කෝලෙ යන්න පහසුකම් තිබුණා. තැපැල් කන්තෝරුවක් තිබුණා. මේ සියලු පහසුකම් තිබුණත් දැන් මේ කිසි දෙයක් නැහැ. අපි නිකන් වෙනම ලෝකෙක ඉන්න කට්ටියක් වගේ තමා සලකන්නේ. මගේ දරුවො තුන්දෙනයි. හලාවත බිෂොප් හවුස් එකට පිං සිද්ධ වෙන්න ඒ ගොල්ලොන්ට උගන්වනවා. මේ දූපතේ තව අයට එහෙම උගන්වනවා. ඉතින් තවත් අය නිකන් ඉන්නව ඒගොල්ලෝ මේ දූපතේම රැකියාව කරන්නද? එයාලට අනාගතයක් නැද්ද? හැබැයි අපි මේ සැරේ මුදල් වියදම් කරලා තමයි ඡන්දෙ දාන්න ගියේ. හැම ආණ්ඩුවක්ම අපිව රවටපු නිසා අපි හිතනවා මේ ආණ්ඩුවවත් අපේ ප්‍රශ්ණ වලට උත්තර දෙයි කියලා.
රටට මත්ස්‍ය සම්පත ලබා දෙමින් මේ මිනිසුන් කරනා සුවිශේෂ වු කැපවිම ඔවුන් ජීවත් විම සදහා බව සැබැ නමුත් ඔවුන් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය සුළු පටු නැත.
ඉන්දියන් ආක්රමණික ධීවරයින් සමග පොර බදමින් ශ්‍රී ලාංකික මුහුදු සිමාව රැක ගැනිමට මෙම ධීවරයින් දක්වන්නේ සුවිශේෂ කැපවිමකි.
බලයේ සිටි සෑම රජයකින්ම යම් යම් සහන සුළු ලෙස ලැබුනද එය කිසිසේත් මෙම ධීවරයින්ගේ ජීවිතය ජය ගැනිමට සහනයක් නොවූ බව සැබැවකි.
ඒ නිසාම වත්මන් රජය ගැන මේ ධීවරයින් තුළ ඇත්තේ අලුත් බලාපොරෝත්තුවකි.ඒ නිසාම වත්මන් පාලනයේ ධීවර ඇමති වරයාගේ මැදිහත් විම අපේක්ෂාවෙන් පෙර මග බලා හිඳිති.






.