ලක්මිණි නදීෂා
රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඔවුන් දෙදෙනා අද දින උදෑසන 09.17 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. – 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව මෙම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බව වාර්’තා විය.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.



