වන්නි රොමේෂ් මධුෂංඛ
යුද්ධයේ කුරිරු වේදනාවන් උතුරු නැගෙනහිරට වැඩියෙන් දැනෙන විට ලංකාවේ අනෙක් කාටත් යන්තමින් හෝ දැනුණු බව අප දන්නා කරුණකි. එහෙත් යුද්ධය අවසන් වුවත්,, එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් දෙන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
අවසන් යුද්ධයේදී කාලතුවක්කු, මෝටාර්, බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබැලි තවමත් ශරීරයේ තබාගෙන වවුනියාව සහ යාපනය පළාත්වල පුද්ගලයින් 410 දෙනෙකු ජීවත්වන බවට මන්නාරම් පුරවැසි කමිටුව කියයි.
එම කමිටුව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ,
‘‘අප කමිටුව මගින් උතුරු පළාතේ දිස්ත්‍රීක්ක කිහිපයක සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් වාර්ථා වූ තොරතුරුවලට අනුව දැනට සොයාගෙන ඇති සංඛ්‍යාවෙන් 113ක්ම පාසල් සිසුන් ඉන්නේ . උතුරු පළාත තුළ මේ අන්දමට දහසකට වැඩි පිරිසක් සිටිනව කියලා අපිට දැන ගන්නට ලැබුණා. කිළිනොච්චිය, මුලතිවු හා මන්නාරම යන පළාත්වල තොරතුරු තවමත් අපිට ලැබිලා නැහැ.
‘‘ශරීරය තුළ මෙම බෝම්බ කැබලි තබාගෙන ජීවත් වන මේ පිරිස රෝගීන් බවට පත්ව සිටින නිසා වහාම රජය මැදිහත්වී ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුයි .උතුරේ රෝහල්වල පහසුකම් නොමැති හෙයින් ඔවුන්ට බෝම්බ කැබැලි ඉවත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ ගණනක් පෞද්ගලික රෝහල්වට ගෙවීමට නොහැකි වීමෙන් අද ඔවුන් පීඩිත හා දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වන වවුනියාවේ සාස්ත්රීකුලම් ගම්මානයේ වෙසෙන කාන්තාවක් වූ පී.සාරිතා එහි සත්‍යතාවය මෙසේ පෙන්වා දුන්නාය.
‘මගේ එක ඇසක් පේන්නෙ නැහැ . මුලතිව් වල ඉන්නකොට මෝටාර් බෝම්බයක් පත්තුවෙච්ච වෙලාවේ මම ළඟ හිටියා ඒ වෙලාවේ මගේ ඇසත් අහිමි වෙලා මට හොඳටම තුවාල වුනා මේ වෙනකොට අපි නැවත පදිංචියට ඇවිත් වව්නියාවේ ඉන්නේ. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා මගේ ඇස අසලත් කාකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි හතක් තියෙනවා කියල රෝහලට ගියාම දොස්තරල මට කිව්වා. නමුත් ඒ බොම්බ කෑලි ඉවත් කරන්න ආණ්ඩුවේ රෝහල් වල පහසුකම් නැහැලු. පෞද්ගලික රෝහලකින් තමයි ශල්‍යකර්මයක් මාර්ගයෙන් මේ බොම්බ කෑලි ගන්න වෙලා තියෙන්නේ. මම මගේ දරුවන්ටත් කන්න එදා වේල හොයාගන්නේ බොහොම අමාරුවෙන් පෞද්ගලික රෝහලකදී ඇස අසල ඇති මෝටාර් කැබැල්ල ඉවත් කිරීමට රුපියල් පණස්දහසක යනවා. බෙහෙත් සදහා තවත් වෙනම මුදලක් අවහ්‍ය වෙනවා. ඉතිං මේ මුදල අපිට නැති නිසා මේ බොම්බ කෑලි ඇග ඇතුළෙම තියන් පුලුවන් කාලයක් ජීවත් වෙනවා.
අනතුරුව වවුනියාවේ කූමාංකුලමේදී එස්.කන්නන් අපට මුණගැසුණි.
‘මගේ කකුලේ කාලතුවක්කු උණ්ඩ කැබලි 11 ක් මුලින් තිබුනා ඉන් 4 ක් ඉවත් කරගත්තා .තවත් හතක් තියෙනවා. ඉතිරි කැබලි හත ඉවත් කිරීමට වවුනියාව රෝහලේ පහසුකම් නොමැති නිසා වසර ගාණක් තිස්සේ මම මේ වේදනාව විඳිනවා. දැන් මට ඇවිදින්නත් අපහසුයි. ඇවිද්දම බෝම්බ කැබැලි වලට කකුල පුදුම වේදනාවක් දැනෙන්නේ. කව්රු හරි අපිට පිහිට වෙලා මේ බෝම්බ කැලි ටික ඉවත් කරගන්නට උදව් කරනවනම් අපිට ඒ ඇති.
‘‘අපි ගෙදර ඉන්න වෙලාවේ එක වරම මේ බෝම්බ උඩින් ඇවිත් පත්තු වුනේ .ඉතින් ඒ බොම්බ කොයි පැත්තකින් ආවද කවුරු එල්ල කරාද කියන්න අපි දන්නේ නැහැ . පත්තු වේච්ච බෝම්බ පත්තු වුණා. නමුත් වේදනාවන් විඳින්න වෙලා තියෙන්නේ අහිංසක අපට.
යුද්ධ අවසන් වී වසර 16 ක් ගත වෙලා. අද වන විට යමෙකුට අපේ රටේ යුද්ධයක් තිබුණාද යන්නත් අමතකව හමාරය. නමුත් එදා අවසන් යුද්ධයේදී ගෙවුනු දශමයෙන් දශමය… තත්පරයක්, තප්පරයක් පාසා ගෙවෙන හැම මොහොතකම තම ජීවිතිය බේරාගැනීමේ සටනකට මුහුණ දුන් මේ මිනිසුන්ගේ යුධ මතකය මේ බෝම්බ කෑලි තම සිරුර තුළ තිබෙනතාක් කල් හොල්මන් කරනු ඇත.
එවැනි මානසික පීඩනයකින් සිටින මේ ජනතාව දෙස පළමුව ඇස් කන් යොමා, ඔවුන්ගේ හෙට දවසට යුධ මානසිකත්වයෙන් තොරව මුහුණ දීමට අවස්ථාව උදාකරලීම අප කාගෙත් වගකීමක් හා යුතුකමක් බව සිතිය යුත්තකි.
02 -වවුනියාවේ සාස්ත්රීකුලම් ගම්මානයේ පදිංචි පී.සාරිතා හා ඇයගේ දරුවන් සමග වෙසෙන නිවස

07 – වවුනියාවේ කූමාංකුලමේ පදිංචි එස්.කන්නන් හා ඔහුගේ බිරිඳ නිවසේ සිටින අයුරු


