මොහොමඩ් ආසික්
මහනුවර නගරයේ සිරි දළඳා දැක්ම පැවැති පසුගිය 18 වනදා සිට 27 වනදා දක්වා නගරයෙන් එකතු කර මේ වන විට ගොහාගොඩ කසළ අංගණයේ ගොඩ ගසා ඇති කසළ මෙට්‍රික් ටොන් 633 කොළඹ රැගෙන ගොස් විනාශ කිරීම අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි.
මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ ප්‍රධානි ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා සඳහන් කළේ දැනට ගොහාගොඩ කසළ අංගණයේ ගොඩ ගසා ඇති දළඳා දැක්ම සමයේ එකතු කරන ලද කසළ ටොන් 633 කොළඹ රැගෙන ගොස් දහනය කිරීමේ ක්‍රියාවලිය ගැටළු සහගතවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කළ විමසුමකදී ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා මෙසේද කීය.
“.. පසුගිය 17 වනදා සිට ආරම්භ වූ සිරි දළඳා දැක්ම සඳහා විශාල බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණියා. මහනුවර මහ නගර සභාව වශයෙන් නගරයේ එකතු වන කසළ විධිමත්ව බැහැර කිරීමේ වැඩසටහනක් දියත් කර තිබුණා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් ඒකට දායක වුණා. ඒ අය කසළ බඳුන් 450 ක් අපට ලබා දීල තිබුණා.ඒ අනුව අපි වර්ගීකරණය කළ කසළ එකතු කිරිමට තමයි උත්සාහ කළේ. අපි අවුරුදු එක හමාරක පමණ කාලයක් ගොහාගොඩට මිශ්‍ර කසළ බැහැර කිරීම අත් හිටවලා විධිමත්ව වැඩපිළිවෙළක් යටතේ තමයි බැහැර කිරීම් කළේ. නමුත් දන්ත ධාතූන් වන්දනයට පැමිණි පිරිස වැඩි වශයෙන් බැහැර කර තිබුණේ මිශ්‍ර කසළ. වර්ගීකරණය කරන ලද කසළ එකතු කර ගන්න අපි කොපමණ උත්සාහ කළත් ඒ අවස්ථාව ලැබුණේ නෑ.ධාතුන් වහන්සේ වන්දනයට පැමිණි පිරිස විසින් බැහැර කරන ලද මිශ්‍ර කසළ මෙට්‍රික් ටොන් 633 ක් 28 වනදා දහවල් වන විට එකතු වෙලා තියෙනවා. මේ කසළ මෙට්‍රික් ටොන්වලට වඩා මෙහි පරිමාව වැඩියි. මේ කසළ කොළඹ අරන් ගිහින් සනීපාරක්ෂක දාහකයකට දාලා පිළිස්සීමේ හැකියාව තියෙනවා.නමුත් මේවා පැටවීමට සහ ප්‍රවාහනයට යන වියදම් සැලකුවාම ඒක විශාල ගැටළුවක්. සාමාන්‍ය ලොරියක් කුලියට ගත්තොත් එක් වරකට රුපියල් 75,000 ක වත් කුලියක් ගෙවන්න වෙයි.එහෙම වාර 100 ක් විතර යැව්වත් ලක්ෂ 75 ක් විතර ඕන. ඒ නිසා තවමත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අර ගන්න බැරි වෙලයි තියෙන්නේ. ඒ ගැන සාකච්ඡා තව දුරටත් පවතිනවා. කොයි දේ කළත් ජනතාවට රටට බරක් නොවී මේක කරන්න ඕන. කාගෙන් මුදලක් ගියත් ඒක රටේ මුදලක් යන්නේ. මේ කසළ ඉක්මනින් ඉවත් කර ගන්න ඕන නමුත් වියදම ගැනත් දෙපාරක් බලන්න ඕන”.. යැයිද ඒ මහතා කීය.
කසල අංගණයේ තත්වය


