සිරවුණු කුළු හරකා බේරා විල්පත්තුවට මුදා හැරෙයි.

    පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ කුකුල්කටුව ප්‍රදේශයේ කුඹුරු යායක් අසල කළුගල් වලකට වැටී සිරවී සිටි සද්ධන්ත කුළු හරකෙකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගෙන, ප්‍රතිකාර ලබා දී ,නැවත විල්පත්තුවට මුදා හැරිමට වනජීවි නිළධාරීන් හා පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිළධාරීන්  විසින් කටයුතු කර තිබුණි.

කිලෝ 300 කට අධික සද්දන්ත ,වයස අවුරුදු 18 ක පමණ  මෙම කුළු හරකා විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි කුඹුරු යායක් අසල කළුගල් වලකට වැටී ගොඩ ඒමට නොහැකිව සිරව සිට තිබේ. ගම්වාසින් විසින් කරන ලද දැනුවත් කිරීමෙන් පසු කුකුල්කටුව බීට්ටු වනජීවි නිලධාරීහු හා වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීහු   එක්ව ගම්වාසින්ගේ සහය ද ලබා ගනිමින් කුළු හරකා  ගෙඩට ගැනිමට මහත් පරිශ්‍රමයක්  දැරූහ.

වනජීවි පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් පළමුව කළුගල් වලේ සිරවී සිටි කුළුහරකා නිර්වින්දනය කරන ලදී.ඉන් පසුව කඹ හා ලී ආධාරක යොදා ගනිමින් 20 දෙනෙකුට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්  සත්ත්වයා ගොඩ ගැනිම සිදුව තිබුණි.

නිර්වින්දන ලබා දී සිටි කුළු හරකා ගොඩ ගැනිමෙන් පසු වනජීවි වෛද්‍යවරු කුළු හරකාට කළු ගල් වල ගැටි සිදුව තිබු තුවාල සදහා ප්‍රතිකාර ලබා දි ,නැවත විල්පත්තුව ජාතික වන උද්‍යානයට මුදා හැරිමට කටයුතු කළහ.

වනජීවි නිළධාරින් පවසන්නේ මෙම කළුගල් වල නිදන් ලබා ගැනිමේ අරමුණින් කැණීම් කර ඇති ස්ථානයක් බවට ජනතාව හදුන්වන බවයි.එම ස්ථානය නැවත වසා නොදැමිම හේතුවෙන් මෙලෙස වන සතුන් අනතුරු වලට ලක්විම සිදුවන බව ගම්වාසින් පවසන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් විල්පත්තුව ජාතික වන උද්‍යානය මායිමේ කුකුල්කටුව පිහිටිම නිසා වන සතුන් මෙම ප්‍රදේශ වෙත පැමිණීම නිරන්තරයෙන් සිදුවෙන බවද කියවේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *