සංජීවනී පද්මසේන
එකළ සිංහල සිනමාව බැබලවූ සුපිරි තරුව විජය කුමාරතුංග මහතා ඝාතනයට ලක්ව පෙබරවාරි 16 වන දිනට අවුරුදු 37ක් සපිරේ. ඔහුගේ 37 වන ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් කටුණායකදී සිදු කෙරුණි.
1945 ඔක්තෝබර් 9 වන දින උපත ලැබූ විජය කුමාරතුංග මහතා මුලින්ම සිනමාවට පිවිසියේ “හන්තානේ කතාව” සිනමාපටයෙනි. ඉන් පසුව තුෂාරා, ආදරේ හිතෙනවා දැක්කම, ගඟ අද්දර, අහස් ගව්ව, හතරදෙනාම සූරයෝ, පාර දිගේ, මහගෙදර ආදී චිත්රපට 114කට පමණ රංඟනයෙන් දායක වූ ඒ මහතා 1983 සිට 1988 දක්වාම අඛණ්ඩව ජනප්රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.
ගායකයෙකු ලෙසටද දක්ෂතා ප්රකට කළ ඒ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස පසුව ශ්රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මූලිකව ක්රියා කළේය. චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ විවාහයෙන් දෙදරු පියෙකු වූ ඒ මහතා 1988 වසරේ පෙබරවාරි 16 වැනි දිනෙක කිරුලපන, පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිට දී අමානුෂික ලෙස ඝාතනය කෙරුණි.
ඔහුගේ 37 වන ගුණ සැමරුම යෙදෙන මෙදින කටුනායක පිහිටි විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර දැක්වීම චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි. එම අවස්ථාවට ජීවන් කුමාරතුංග, රංජන් රාමනායක ඇතුළු පිරිසක් සහභාගි විය.

