බෙලිහුල්ඔය එස්. රත්නායක
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර් ය ඒ. ඩබ්. විජේරත්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි

සොබාදහම හරි අපූරුය. එනිසාම ස්වභාව දහමට බොහෝ දෙනා ඇලුම් කරති. සොබා දහමට ඇලුම් කරන්නෝ ස්වභාව දහම විඳින්නට ආදරයෙන් වැළඳ ගන්නට එක්වෙති . ඔක්සිජන් කන්න දැයි අසන මුග්ධ දේශපාලකයන් මෙන්ම ඔවුන්ගේම උවමනා එපාකම් වලට වන සංහාර කරන වල් බූරු කැලෑ පාළුවන්ද මේ පුංචි මුතු ඇටයෙන් වරින් වර මතුවේ. ගහකොළට ලෙන්ගතු ඇත්තෝ වන අසිරිය විඳින්නට බාහිර පරිසරයට රොද බඳිති.
කොන්ක්‍රීට් වනාන්තරයක වෙසෙන ඔබට මහ කැලයක් ඔබේ නිවසෙහි මවන්නට සිතුණහොත් එය විකාර මෝඩ සිතුවිල්ලකැයි කෙනෙකුට සිතෙනු ඇත. එය දිවා කල දුටු සිහිනයකැයි තව කෙනෙකුට සිතිය හැකිය. එහෙත් කුඩා නිවසක මෙවන් විසල් වනයක් සැබවින්ම තිබුණහොත් ඇතිවන මානසික සතුට කෙබඳුද. එකී සිහිනය සැබෑ කිරීමේ කලාවක් ඇතැයි කීවොත් ඔබ පුදුම නොවිය යුතුය. එක්තරා පන්තියක ආධිපත්‍යයකට නතුව තිබෙන ලක්ෂ ගණනින් අලෙවි වෙන බොන්සායි කලාව ගැනයි මේ.
මොකක්ද මේ බොන්සායි කලාව.

වසර දෙදහසකට පෙර චීනයේ බඳූන්වල තැනූ ගස් ඉහළ ගණයේ ත්‍යාග ලෙස හුවමාරු වී ඇති බව ඇතැම් මූලාශ්‍රයන්හි සඳහන්ය. බඳූන්වල ගස් වැවීමේ කලාවක් ලෙස පැවැති චීනයෙන් ජපානයටද ව්‍යාප්ත වී ඇති බව කියැවේ. මහා ගස් බඳුන්ගතව වැවීමේ කලාව ප්‍රචලිත වෙමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රදර්ශනයන් ද පැවැති බව සඳහන්ය.1923 ටෝකියෝ හි ඇතිවූ භූමිකම්පාවෙන් පසු වෘත්තීය වගාකරුවන් පවුල් තිහකින් යුත් කණ්ඩායමක් ඔමියාවේ පදිංචි වෙමින් එම කලාව කරගෙන යනු ලැබිණි. ජපානයේ සංස්කෘතික කලාවක් ලෙස පිළි ගැනීමට පෙළඹුණි. ඉහත නිජබිම් වලින් පිටත මෑතකාලීනව අනෙකුත් රටවලට මෙම බොන්සායි කලාව ව්‍යාප්තිව ඇති බව පෙනීයයි. මේ සම්බන්ධව නිරන්තර පර් යේෂණයන්හි නිරත ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර් ය ඒ. ඩබ්ලිව්. විජේරත්න මහතා සමග කාබහක යෙදුනෙමු.
“බොන්සායි කියන එකේ තේරුම පැතලි බදුනක ඇති ශාකයක් කියන එක. ශීතකාලෙට කැලේට යන්න බැරි නිසා කැලේක තියෙන හැඟීම ගේ ඇතුල තියාගන්න විශාල ශාඛයක කුඩා රූපාකාරයක් නිර්මාණය කරනවා. මේ රූපාකාර නිමවන්න සෑහෙන මහන්සියක් කැපවීමක් කාලයක් ගතවෙනවා. ඒ වගේම නීතිරීති ගණනාවක් තියනවා.”
ලක්ෂ ගණනින් මිළ කියන බොන්සායි.
ලංකාවේ බොන්සායි වගාව සැලකීමේදී එක්තරා පිරිසක් , යම් කොට්ඨාසයකට සීමාවුන කණ්ඩායමක් පන්තියක් අතර යම් අධිකාරියක ස්වරූපයක් ගනු දැකිය හැකිය. රුපියල් විසිපන්දහසක මිලක සිට ලක්ෂ ගණන් දක්වා අලෙවි වනවා. ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන මෙම ශාඛයන්ට මෙතරම් ඉහළ මිලක් කියන්නේ ඇයි.
“ බොන්සායි එක කවයක එක තලයක ඉන්න අය මේක අල්ලගෙන ඉන්න බව පෙනී යනවා. මා මීට යොමුවන්නේ පර්යේෂණ මට්ටමින්. මේවා සාමාන්‍ය කෙනෙකුට මිලට ගන්න නොහැකියි. මේ මිල ඉහළයාමටත් හේතු තියනවා. පුද්ගලයෙකුට මින් ලැබෙන වාසිය මානසික තෘප්තියයි. මේ මානසික සතුට වෙනුවෙන් ශාකයක් හදන්න විශාල වියදමක්,කාලයක්, තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. මේ නිසා කරන කැප කිරීම නිසා ඉහළ මිලගණන් කියනවා. මෙම කාලය අවම කරගැනීමට විශේෂ ක්‍රම භාවිතා කරමින් කෙටිකාලයකදී බොන්සායි ගහක් හදන්න හැකියාව තියනවා. විශාල ගහක කුඩාරූපාකාරය පැතලි බඳුනක හදන්න ලෝකයේ විශේෂ රීති තියනවා. ඒ රීති අනුගමනය නොකර ලස්සන ගහක් හදන ක්‍රම ලෝකයේ ප්‍රචලිත වීගෙන යනවා රුක් කලාව ( Tree Art ) වලදි පැතලි බඳුන වෙනුවට ගැඹුරු බඳුනක් යොදනවා. උදාහරණයක් ලෙස කන්දක් උඩ ගහක හැදුනොත් ඒ ගහ පහළට නැමෙනවා. කැස්කේඩ් (Cascade ) එකක් පැතලි බඳුනක තියන්න අමාරුයි මෙනිසා ඊට ගැඹුරු බඳුනක් ඕන වෙනවා.”
බොන්සායි යන්නෙහි තේරුම පැතලි බඳුනක ගහක් වෙනුවට ( Tree Art ) රුක් කලාව වෙනත් ප්‍රවනාතාවයකට යොමුවෙමින් ගැඹුරු බඳුණකට යොමු වෙන අතර බොන්සායි යන්නෙහි අරුත ගිලිහී පවතින බව මහාචාර් ය විජේරත්න පවසයි. ඔහුගේ උතසාහය වී ඇත්තේ බොහෝ කාලයක් ශ්‍රමයක් වැයවන මෙම කලාව ඉකිමණින් සිදුකළ හැකි ක්‍රම සොයා ඉදිරිපත් කිරීමවේ.
මෙම ක්‍රමය යටතේ කුමන වර්ගයේ ගස් බඳුන් කළ හැකිද
අළංකරණය සඳහා මානසික සුවය පිණිස රෝපණය හා වේගවත් වර් ධනය කළ හැකි ශාකඅතර කුඹුක් මෙන්ම විදෙස් ශාක ලෙස බ්ලූබෙල්(blueBell) ඩෙස්මෝඩියම් යුනිෆෝලියේට්ම් ( Desmodium unifoliatum ප්‍රෙම්නා ( හීන්මිදි ) වේගයෙන් වැවෙන ශාක වේ. බොහෝ ඉක්මණින් මුල් පද්ධතිය වර්ධනයවී කඳ මහත්ව විශාල අලංකාර ගසක් නිර්මාණය කළහැකි බව හෙතෙම සඳහන් කරයි. වේගයෙන් වර්ධනය වන ශාඛා ඉක්මණින් සැකසිය හැකි අතර කුඹුක් ඇටයකින් ලබා ගත් කුඩා පැලයක් වසර දෙකක් වැනි කාලයකදී සැකසිය හැකිවන බවයි. මධ්‍යස්ථ වේගයෙන් වැවෙන ගස් අතර ජුනිපර් විශේෂ, දවුල් ,සියඹලා, මයිල, නා, වෙරළු, උගුරැස්ස, ඇට්ටේරියා, ගඟවැරැල්ල,දෙළුම්,බොක්ස්වුඩ් අයත්වේ. අඩු වේගයකින් වැවෙන ශාඛ වනුයේ පළු,කළුවර, බුරුත වැනි ශාකයි.
ගස මිනිසා අතර අන්තර් ප්‍රතිචාර දැක්වීම.( කථාකරන ගස් )

බොන්සායි ගසක් වැවීම තුළ මනසික සුවය මෙන්ම නව පර් යේෂණයන්ට අනුව ගසක් පත්‍ර අතපත ගාද්දී ගස ඊට ප්‍රතිචාර දැක්වීම තහවුරු වී තබෙන බව බොටැනිකස් ඉන්ටරැක්ටිස් (Botanicas Interacticus ) යන පර් යේණ තුළින් අනාවරණය වී ඇති බව කියයි. තවත් පර් යේෂණ කණ්ඩායමක් තවත් පැත්තකින පර් යේෂණ කොට කියනුයේ ගස අතපතගාන විට (ස්පර් ෂයේදී) මිනිස් ශරීය ඊට ප්‍රතිචාර දක්වන බවයි.
“ ගහක් ස්පර්ෂයේ දී අපට සැබෑවටම සුවපත් බවක් දැනෙනවා. හැම ගසකම මේ දේ වෙනවා කියන්න බැහැ කොයි කොයි ගස් එලෙස ප්‍රතිචාර දක්වනවා ද යන්න පර්යේෂණ කළ යුතුයි. කුඹුක් ශාකය සමග දිගු කලක් පර්යේෂණ කර තිබෙණවා . එහෙම ඒවා ඇඟට දැනෙනවා. ගහ විනාශ කරනවා නොවේනෙ. මැරුණු කොළ වැඩි අතු කපනවා. කම්බි යොදා හැඩතල නිර් මාණය කරනවා. නිතර ගහ ගැන හිතනවා. එහෙම වෙද්දි ගහත් මනුස්සයත් අතර අන්තර් සම්බන්ධයක් ගොඩනැගෙනවා. මෙය හිතලුවක් හෝ මිත්‍යාවක් නොවෙයි. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. ගහේ ප්‍රතිචාර පරිගණක තිරයකට අරගෙන තියනවා. ගහ අතු ස්පර්ෂයේදී විවිධ ප්‍රතිචාර දක්වන් බව බොටැනිකස් ඉන්ටරැක්ටිකස් (Botanicus Interacticus) අන්තර් ජාල සෙවුම් මගින් තහවුරු වෙනවා.”
සැමට බොන්සායී ගසක් නිර්මාණය කරගැනීමට උපදෙස් ලබාදීම සිය උත්සාහය බව ඔහු කියයි. වසරකින් දෙකකින් අවසන් නොවන මෙය ජීවිත කාලයක් පරිම්පරා ගණනක් පවතින්නකි. එනිසා එය කෙනෙකුට දෑවැද්දක් තරම් වන විශාල මුදලක් වන බව හෙතෙම පවසයි. එවැනි ගසක මෝරපු රූස්ස ගසක පෙනුම පවතී. විශාල ගසක රූපාකාරයක් පවතී. ගසේ හැඩය පවත්වා ගැනීමට එය නඩත්තු කළ යුතුය. ලංකාව විශාල ජෛව විවිධත්වයක් ඇති රටක් බැවින් ශාඛ ගණණාවක් යොදා ගනිමින් සංචාරක ආකර් ෂණයක් ඇතිවන ලෙස ව්‍යාපෘති සැකසිය හැකිය. විචිත්‍ර කලාවක් වුවද බොන්සායි වගාවට අවැසි මෙවලම් කම්බි ඇතුලු දෑ අඩුපාඩු එමට බවද ලබාගත හැකි තැන් ලංකාවේ සුලබ නොවන බවද පෙන්වා දෙයි.
වයස්ගත වීමෙදී මානසික ඔසුවක්
වයස් ගතවීමේදී ඔවුන් රැකබලා ගැනීම මෙන් හුදෙකලාවන වැඩිහියන්ගේ සාංකාව මානසික පීඩනය ආතතිය කාන්සිය වැනි දෑ ජීවිතයට බොහො ලෙඩරෝග කැන්දයි. ඩිමෙන්සියා ඩිප්‍රෙෂන් ඇතුලු තවත් කායික මානසික රෝග රැසකට මේ “හුදෙකලා බව” අතවනන බව අපිදනිමු මෙම කලාව ඊට හොඳම විකල්පයකි.
රෝහල් හා සිර කඳවුරු සඳහා නව ප්‍රවේශයක්

රෝහල් ගත නේවාසික ප්‍රතිකාර ලබන්නන් හා රැඳවියන් වෙසෙන ස්ථානයන්හි සමාජ විද්‍යාත්මකව ගත් විටද බොන්සායි කළාව එවැනි පැතිකඩ තුළද ප්‍රචලිත කළ හැකි බව පෙන්වාදෙයි. අප හැම වයස්ගත වීම සැබෑවයි. රාජ්‍ය මැදිහත්වීම තුළ මෙම කලාව යොදා ගැනීමෙන් සාංකාව අවම කළ හැකිවීම ලෝකයේ සාමන්‍ය දෙයකි රෝහල්තුල වෙසෙන පිරිසගේ මානසික සුවයට ඔසුවකි. . රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළ හැකිනම් වැඩිහිටි නිවෙස්වල පිරිස් බන්ධනාගාර ගත පිරිස් හට කාලය ඇති බැවින් පහසුවෙන් යොමුවිය හැකිය. වසර 5කට සිරගතවන කෙනෙක් කාලයත් සමග මෙවැනි ව්‍යාපෘතියක නිරතව සමාජගත වීමේදී ගසක් තනමින් මනස නිරවුල්ව විශාල වටිනාකමක් සහිතව සමාජයට යොමුකළ හැකි බව විස්තර කරයි. එ් අනුව මෙම කළාව ආර් ථික හා සමාජ විද්‍යාත්මක මෙන්ම සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි වනු ඇත.
“ කෘෂි විද්‍යාඥයෙක් ලෙස යමක් කළ යුතුයි යන හැඟීමෙන් මෙය පටන් ගත්තේ පුද්ගලික මුදලින්. කුඩාපැල ගෙනත් ව්‍යාපෘතියක් ලෙස කරගෙන යනවා. හිතන්න කුරුඳු ගහකින් බොනසායි එකක් හදල දෙනවා කියල. කුරුඳු තලන අයට දියවැඩියාව හෘද රෝග හැදෙනවාද බලන්න ඒ අයට හැදෙනවා අඩුයි. කුරුඳු බොන්සායි ගහේ අතුටික නමන්න කොළටික කඩන්න වැඩි අතු කපන්න ඕනැ. නිතරම ගහ එක්ක ඉන්නවා . කොහොඹ ගහත් එවැනි ශාකයක් කොහොඹ පත්‍ර වල ඇති රසායනියන්ගෙන් විශබීජ විනාශ කරන්න පුළුවන් කියන එක ලෝකෙම පිළිගත් දෙයක්. රසායනිකව ගත්තත් සම්පුදායිකව ගත්තත් පිළිගෙන තියනවා. රැඳවියන්ට රෝහල් ගතවූවන්ට මෙන්ම හැමෝටම සෞඛ්‍ය වටිනාකමක් සමාජවිද්‍යා පදනමක් ආර්ථිකයට වටිනාකමක් තියනවා.”
රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ බෙන්සායි කලාව ප්‍රචලිත කළ හැකි නම් ඉහත කි පරිදි ආර් ථික සමාජමය සෞඛ්‍ය වටිනාකම් රැසක් මේ තුළ උකහා ගතහැනිය. එක් අතකින් වැඩිහිටි සමාජය සුවපත් කිරීම,තරුණ ව්‍යාවසායකයින් ආයොජනයට පෙළඹවීම මගින් ආරථිකය ශක්තිමත් කිරීමද විද්වතුන්ට තවතව පර් යේෂණයන්ට මංපෙත් විවර කිරීම කෙරෙහි වැදගත්වේ. ලස්සන රටක්, පැහැබර හෙටක් සුන්දර ලංකාවක් තනන්නට යන මාවතට අරුනළු ගෙනෙන්නට හිත නිවන මෙවන් කලාවක් ගැන වගකිවයුත්තන්ගේ “හිත් පහළවීම „ මත මෙහි හෙට දවස තීරණය වනු ඇත.
