සංජීවනී පද්මසේන

නිල්වන් දුම්බර කඳුවැටි මීදුම් සේලවලින් වසාගත් අතිසුන්දර ගම්මානයක ,එක්තරා දිනයක මහා බියකරු, ඉතිහාසගත සිදුවීමක් සිදුවේ. හිරු එළිය ද, වාතලය ද විනිවිද රූස්ස ගස් සහ කඳුවැටි අතරින් ගැහැණුන් දෙදෙනෙකුගේ විලාපයන් ද, නොසරුප් බස්, අවලාද අපහාස කිරීම් පිරුණු කලහකාරී හඬවල් ද නින්නාද වේ. ඒ වර්ෂ 1815 පෙබරවාරි 18 වන දිනයේදී දියනිල්ල කඳුවැටියෙන් වට වූ බෝමුරේ නම් සුන්දර පුරවරයේ ගල්ලැහැවත්ත ගම්මානයේදීය.
මේ පවසන්නේ සිංහල සිනමාපටයක දර්ශන පෙළක් නොව සිංහල ඉතිහාසයට අයත් අනුවේදනීය සිදුවීම් මාලාවකි. එගම ප්‍රභූ නිවසක් වූ උඩුපිටියේ ආරච්චිරාල නිවසෙන් එළියට බසිත්ම දකින්නේ පිටිතල හයා බැඳි කොලු ගැටයෙකු පෙරටු කොටගෙන තම නිවස දෙසට ඇදී එන මහා සේනාවකි. ඇස් අදහාගත නොහැකි ලීලාවෙන් මුවහයා බලා සිටින උඩුපිටියේ ආරච්චිරාල වික්ෂිප්ත වී යන්නේ මේ සේනාවේ ප්‍රධානියා රජතුමාගේ අතිශය හිතවත් රාජපාක්ෂිකයෙකු ලෙස පෙනී සිටි එක්නැලිගොඩ නිලමේ ලෙස හඳුනාගත් බැවිනි.
ඉන්පසු ඇරඹෙන්නේ මහා කලකෝලහාලයකි. උඩුපිටියේ ආරච්චිරාලගේ හෙල්ල පහර වැළැක්වූ එක්නැලිගොඩ නිලමේ සහ පැමිණ සිටි කෝපාවිෂ්ට ජනයා නොසරුප් වදනින් කෑගසා එළියේ තිබූ ලී වංගෙඩියෙක ආධාරයෙන් වලව්වේ මහා ඝනකමෙන් යුත් කොස් ද්වාරය සිඳබිඳ දමයි. එවිට ඔවුන්ට දක්නට ලැබෙන්නේ ලතෝනි දී වැලපෙන ගැහැණු දෙදෙනෙකුට මැදිව සිටින සිංහලයේ ප්රතාපවත් මහරජතුමාය.
ඉදින්, මහා ම්ලේච්ඡ පහර දීම් හා අමානුෂික නොසරුප් වදන් වලින් හිංසාවට පත් කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ බිසෝවරුන් දෙදෙනාද එක්නැලිගොඩ නිලමේ සහ සබරගමු ජනතාව විසින් ජීවග්රහනයට නතු කරගනු ලබයි.
මේ බ්‍රිතාන්‍යයේ ඉතාමත් සටකපට නිලධාරියෙකු වූ ජෝන් ඩොයිලිගේ තියුණු බුද්ධියෙන් මෙහෙයවන ලද කුමන්ත්‍රණ මාලාවක ප්රතිඵලයකි. සිංහල උඩරට රදළවරු නායක්කාර්වංශික කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අත්තනෝමතික පාලනය ගැන ඇති කරගෙන තිබූ කලකිරීම ප්‍රයෝජනයට ගත් ඩොයිලි තම උපක්රමශීලීත්වය යොදමින් උඩරට රාජධානිය යටත් කරගැනීමේ පසුබිම සකස් කර ගත්තේය.
ඔහු මුලින්ම රජුට පක්ෂපාතීත්වය දැක්වූ නිලමේවරු හඳුනාගෙන ඔවුනගේ බල බිඳින ලදී. භික්ෂුන් වහන්සේලාට ආවතේව කරමින් අනුග්‍රහය දක්වා උන්වහන්සේලාගේ සිත් ගැනීම, රජුට විරුද්ධ නිලමේවරු හඳුනාගෙන ඔවුනට අනුබල දීම, හා රජුට තෑගි වශයෙන් ඉංග්‍රීසි මත්පැන් තොග වශයෙන් යැවීම ඔහුගේ උපක්‍රම කිහිපයකි. උඩරට රදළවරු තමන්ට විරුද්ධ බවත්, තමාට විරුද්ධව කුමණ්ත්‍රණය කරන බවත් සැලවීමෙන් රජු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ බව සනාථ වූයේ බ්‍රිතාන්‍යන්ට පළා ගිය රජුගේ කාමරයේ තිබී හිස් “හොප්මන්” රතු බ්‍රැන්ඩි බෝතල් තොග පිටින් හමුවීම නිසාය. ඒ ඩොයිලි විසින් රජුට ලබා දී තිබූ ත්‍යාගයන් ය.
මේ අතරතුරදී ඇහැලේපොළ මහාධිකාරම සබරගමු ජනතාව සමඟ එකතු වී රජුට විරුද්ධ වීම නිසා කෝප ගත් රජු ඇහැලේපොළ කුමාරිහාමි හා දරු දෙදෙනා කෲර ලෙස ඝාතනය කිරීම උඩරට ජනයා තව තවත් කෝප ගන්වන්නටත් රජු කෙරෙහි කලකිරීමට පත් වන්නටත් හේතුවක් විය. ඒ 1814 මැයි මස 17 වන දිනක මුළු බෝගම්බරම හඬවමින් සිදු වූ අමානුෂික ඝාතන මාලාවකි. මේ සියල්ලම ඩොයිලිගේ සහයට සිදුවූ කරුණු බැවින් උඩරට ආක්‍රමණය ඉංග්‍රීසින්ට වඩාත් පහසු විය. බ්‍රිතාන්‍යය හමුදා මහනුවරට ඇතුළු වූයේ 1815 පෙබරවාරි 12 වන දිනදීය. ඒ වනවිට රජතුමා ඇතුළු පිරිස නගරයට ගිනිතබා පළාගොස් තිබුණි.
ඉහත කී ලෙස අත්අඩංගුවට පත් වූයේ එලෙස පළාගොස් බෝමුරේ සැඟවී සිටි ලක්දිව අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු බිසෝවරුන් දෙදෙනාය. අමානුෂික වදහිංසාවලට ගොදුරු වී සිටි රජතුමා ඇතුළු පිරිස නිසි ඇඳුම් පැළඳුම් ලබා දී රාජගෞරව සහිතව නැවතත් කැඳවාගෙන යාමට ඩොයිලි කටයුතු යෙදීය. එහිදී මහරජතුමා නිරුපද්‍රිතව ඩොයිලි නතරවී හුන් තෙල්දෙණිය වෙත කැඳවාගෙන යන ලදී.
මේ අත්අඩංගුවට පත් වීමෙන් පසු ලංකාව ඉංග්‍රීසීන් යටතට ගැනීමේ නීතිමය කටයුතු සම්පාදනය කළ යුතුව තිබුණි. සිංහල භාෂාව ද ප්‍රගුණ කර තිබූ ජෝන් ඩොයිලි විසින් මෙහි වගන්ති සකස් කෙරුණු අතර පරිවර්තනය කරන ලද්දේ සේරම් මුදලිදු විසිනි.
ගිවිසුමට උඩරට ප්‍රධානීන්ගේ අනුමැතිය සහ අත්සන් ද ලබාගෙන උඩරට රාජධානියේ අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කළේ එවකට ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් විසිනි. මෙම ගිවිසුමට ප්‍රථම උඩරට ඉංග්‍රීසීන්ට යටත් වූ බව තහවුරු කරන ලද නිල නිවේදනය ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
1815 මාර්තු මස 2 වන දින පස්වරු 4ට උඩරට ප්‍රධානීහු මහනුවර මඟුල් මඩුවට කැඳවනු ලැබීය. එහිදී මෙම ඓතිහාසික ගිවිසුම ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් කියවා රැස්ව සිටි ප්‍රධානීන්ට සහ ජනතාවට පැහැදිලි කරදෙන ලදී. මෙදින උඩරට රදළවරු සහ සංඝයාවහන්සේලා ඉදිරියේදී මෙය පැහැදිලි කළ බවත්, එහිදී එය අත්සන් නොකළ බවත්, එම ගිවිසුමට අත්සන් තබන්නේ මාර්තු මස 10 වන දින බවත් ඉතිහාසයේ සඳහන් වී ඇත. මෙම අවස්ථාවට ඇහැලේපොළ නිලමේ සහභාගී නොවුන බවත් පිළිමතලාව, ගලගොඩ දිසාව යන රදළවරු ද අත්සන් නොකළ බවත් අත්සන් කළ අය සිය අනන්‍යතාවය සඟවා ගැනීමට කටයුතු කළ බවටත් සඳහන් වෙයි. ඉහත කී අය මෙම ගිවිසුමට පසුව අත්සන යොදා ඇත.
ගිවිසුමට අත්සන් කරන ලද උඩරට ප්‍රධානීන් ලෙස මොල්ලිගොඩ (ප්‍රථම අධිකාරම සහ සත්කෝරළයේ දිසාව) පිළිමතලාවේ (දෙවන අධිකාරම, සබරගමු දිසාව), මොණරවිල කැප්පෙටිපොළ (ඌව දිසාව), රත්වත්තේ (මාතලේ දිසාව), මොල්ලිගොඩ (තුන්කෝරළයේ දිසාව) , දුල්ලෑව (වළපනේ දිසාව), මිල්ලෑව (බිංතැන්නේ දිසාව) සහ ගලගම (තමන්කඩුව දිසාව) යන අය සඳහන් වෙයි. ඇහැලේපොළ නිලමේතුමා අත්සන් කරන ලද්දේ පසුව බවද ඉතිහාසයේ සඳහන් වේ.
ඉංග්‍රීසීන් වෙනුවෙන් අත්සන් කරන ලද්දේ ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරතුමා වන අතර ඉංග්‍රීසියෙන් කියවා ප්‍රකාශ කරන ලද්දේ නියෝජ්‍ය මහලේකම් ජේම්ස් සදර්ලන්ඩ් ය. සිංහලෙන් කියවා ප්‍රකාශ කරන ලද්දේ ඒබ්‍රහම් ද සේරම් මුදලිතුමා විසින්ය.

මෙම ගිවිසුමේ වගන්ති සැකවින් මෙසේය.
- ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හරිනු ලැබේ.
- ඔහුට හෝ ඔහුගේ ඥාති පරපුරට සිංහාසනය පිළිබඳව ඇති අයිතිය අවලංගුය.
- රජුගේ ඥාති පිරිමින් සියලු දෙනා ලංකාවෙන් පිටමං කළ යුතුය.
- බ්‍රිතාන්‍ය මහරජු සිංහල රාජ්‍යයේ ස්වාමියා ලෙස පත් කරනු ලැබේ.
- බුද්ධාගමට හානි වන කිසිවක් නොකරන අතර, ආගම, සංඝයා වහන්සේලා, ආගමික වතාවත් සහ ආගමික ස්ථාන ආරක්ෂා කරනු ලැබේ.
- අතපය ආදී අවයව කැපීමේ කෲර වදහිංසා අවලංගු කරනු ලැබේ.
- මරණ දඬුවමට ලක් කරන්නේ ආණ්ඩුකාරයා විසින්ම පමණි.
- සිවිල් නඩු සහ අපරාධ නඩු චිරාගත නීතිය අනුව සිංහල නිලධාරීන්ට විසඳිය හැක. අවශ්‍ය වුවහොත් ඉංග්‍රීසි නිලධාරීන්ට මැදිහත් වීමට හැක.
- සිංහල රාජ්‍යයට අයත් නොවන පහතරට සිංහලයන් පිළිබඳ නඩු ඉංග්‍රීසි නීතිය යටතේ විසඳනු ලැබේ.
- තුන්කෝරළය, සතරකෝරළය සහ සබරගමුව පමණක් ඉංග්‍රීසීන් ඈඳා ගත් බවට කළ ප්‍රකාශය අවලංගු කරනු ලැබේ.
- අයබදු අය කරනු ලැබේ.
- නිල වශයෙන් දෙරට අතර වෙළඳාම පහසුකම් දියුණු කරනු ලැබේ.
මෙම ගිවිසුම මහා බ්‍රිතාන්‍යයේ පාලකයා වෙනුවෙන් ගිවිසුමක බැඳීමේ බලය සහිත ආණ්ඩුකාර තැන සුදුසු සාක්ෂිකරුවන් ඉදිරියේ අත්සන් තැබීම නිසා සහතික කළ ලියවිල්ලක් වී ඇති අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර පිළිගන්නා ලද්දක් නිසා එය නෛතික වලංගු ලියවිල්ලක් බවටද පත් විය.
මෙලෙස වගන්ති දොළහකින් යුතු උඩරට ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ කිරුළ ගිලිහී ගොස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක් බවට පත් වුණු අතර 1948 දී නිදහස ලබා ගන්නා තෙක්ම එලෙස ජීවත් වීමට අභිමානවත් සිංහල ජනතාවට සිදුවිය.
මෙම ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කිරීම නිසා ශ්‍රී ලංකාවට උරුමකම් කියූ කිරුළ ගිලිහීමෙන් යටත් විජිතයක් බවට පත් වී 2025 මාර්තු මස 10 වන දිනට වසර 210 ක් සපිරෙනු ඇත.

