වන්නි රොමේෂ් මධුෂංක

උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි.
මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර” (Food for Peace) නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ මිශ්‍ර වීමෙන් බව බෙහෝ මූලාශ්‍රයන්හි සඳහන් වෙනවා.
ඉන් අනතුරුව මෙම පාතීනියම් බීජ කෘෂිකාර්මික ධාන්‍ය සමඟ එක්ව ආසියා රවවල් තුළ පැතිරී ගොස් තිබෙනවා. කෙසේ නමුත් පාතීනියම් ශාකය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම පිළිබඳ ඉතිහාසය විමසා බැලීමේ දී එය ඉන්දියානු සාම සාධක හමුදා ලංකාවට පැමිණීමෙන් අනතුරුව සිදු වූ බව සඳහන් වෙනවා. ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නිරත වූ අතර 1987- 88 කාල වකවානුව තුළ ඔවුන්ගේ එළුවන්ට ආහාර වශයෙන් එම වල් පැළෑටිය එම පරිසරට මුදා හැරීමත් සමඟ මෙම ආක්රමණික ශාකය ඉතා වේගයෙන් එම ප්‍රදේශ තුළ පැතිර ගොස් ඇත.
“පාතීනියම් හෙස්ටෝපොරස්” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “පාතීනියම්” ශාකය ආක්‍රමණශීලී ශාක අතර ඉතා භයානක ශාකයක් ලෙස හඳුනාගෙන ඇතත් මේ වනතුරුත් මෙම ශාකය විනාශ කිරීමේ විධිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක වී නොමැත.
පාතීනියම් හිස්ටෙරෝෆෙරෙස්ට් නැමති ශාකය මෙි වන විටත් ඉතා බහුල වශයෙන් උතුරු පළතේ ව්‍යාප්ත වීමත්, පාතීනියම් පැලෑටි මර්ධනයට භාවිතා කෙරෙන රසායනික තෙල් වර්ගය තහනම් කිරීමත් සමග උතුරේ ගම්මාන රැසක ජනතාව දැඩි සෞඛ්‍ය බලපෑමකට ලක්ව ඇති බව ගම් වාසීහු කියා සිටිති.
‘‘ඔබ දැන් පිවිසෙන්නේ විනාශකාරී පාතීනියම් වල් පැලෑටි බහුලව ඇති ප්‍රදේශයකටය ප්‍රවේශම් වන්න මෙම ප්‍රදේශයෙන් පස් හා වැලි ගෙනයාමෙන් වලකින්න’’ යන වැකිය සහිත විශාල ප්‍රමාණයේ පුවරු මීට වසර 15 කට පමණ පෙර වව්නියාව නගරයේ ප්‍රදේශ රැසක සිංහල හා දමිළ භාෂා වලින් ජනතාවගේ අවධානය සඳහා ප්‍රදර්ශනය කර තිබූණි.
අද වන විට එම පුවරු කිසිවක් දක්නට නොලැබුුුණද පාතීනියම් ශාකය දරුණු ලෙසින් එදාට වඩා කිහිප ගුණයකින් ව්‍යාප්තව ඇත. ඒ නිසාවෙන් ප්‍රදේශවාසීන්ද විවිධ වූ රෝගී තත්වයන්ට මුහුණ පා ඇත. පාතීනියම් ශාකය ශරීරයේ ස්පර්ෂ වීමෙන් මිනිසුන්ට නම් සමේ රෝග ඇදුම වැනි ස්වසන රෝගයන් වැළඳේ.ගවයින් සහ එළුවන්ටද විවිධ වූ ස්වසන රෝග වැළඳෙන අතරම එම සතුන්ගේ කිරි නිශ්පාදනයද අධික ලෙසින් අඩුවන බව කෘෂිකර්ම නිලධාරීහු කියා සිටිති.
වව්නියාව දිස්ත්‍රීක්කයේ පාතීනියම් ශාඛය බහුලව ව්‍යාප්ත වී ඇති ගම්මානයක් වන කොවිල්කුලම් ගම්මානයේ පදිංචි ටී.තවබාලසිංහම් මෙසේ සිය අදහස් දැක්වීය.
‘‘ මේ ප්‍රදේශ බොහොම සරුවට තිබුනු බිම්. නමුත් දැන් පස් ටිකක් හාරන්න බය වෙන්න වෙලා පාතීනියම් කැලෑවල් වගේ ව්‍යාප්ත වෙලා. තියෙන්නේ මේකේ ලොකුම අවදානම තමයි ඇදුම රෝගය වැළඳෙන එක. මහ භයානක ජාතියක්. අපේ හරක් නිතරම රෝගී වෙනවා .නමුත් කරන්න දෙයක් නැහැ. ගන්න කිරි ටික අඩුවෙලා.. ඒකට විසඳුමකුත් නැහැ .මේ ප්‍රශ්නේ කියන්න තියෙන්නේ කෘෂිකර්ම නිලධාරීන්ටනේ. එයාලට කිව්වහම ඔන්න මාසෙකට සැරයක් ඇවිත් පොඩි ශ්‍රමදානයක් දාල යනවා. සතියෙන් අයෙත් තිබුණට වැඩිය වැවිලා වැව් වල, මාර්ග වල, ක්‍රීඩාංගන, සුසාන භූමි වගෙම දැන් වගා බිම් වලත් ව්‍යාප්ත වෙලා. මේක අපට තනිවම මර්ධනය කරන්න බැරි ජාතියක් .රජයේ කිසියම් ව්‍යාපෘතියක් මේ සඳහා ඉතා ඉක්මනික් ක්‍රියාත්මක කරන්න වෙනවා. නැත්තම් අපි ඔක්කොම රෝගියෝ.’’
වව්නියාව වෙලිකුලම් ගම්මානයේ පදිංචි සින්නයියා බාස්කරන් මහතාද සිය අදහස් පළ කළේය.
‘‘ මේ ශාකය මෙහාට ගෙනාවේ ඉන්දියාවේ සාම සාධක හමුදාවයි ඒ යක්කු පැමිණීමෙන් අපිට මේ වසංගතේ ආවා වගේම වැව් වල ඔය දැන් තියන ජපන් ජබර වසංගතෙත් ගෙනාවේ ඉන්දියා සාම සාධක හමුදාව. දැන් ඒකේ ප්‍රතිඵල විඳින්නෙ අපි.
මුල් කාලයේ නම් රජය වගේම රාජ්‍ය නොවන සංවිධාන, ආරක්ෂක අංශ සහ විවිධ සිවිල් සංවිධාන ශ්‍රමදාන මගින් මේ පාතීනියම් විනාශ කරන්න ගත්තා .එහෙම කරළත් මේ ජාතිය නැති කරන්න බැරිවුණා .දැන් පාතීනියම් විනාශ කරන්න කිසිම වැඩසටහනක් නැහැ පහුගිය කාලෙ නම් කෘෂීකර්ම නිලධාරීන් විිසින් රසායනක තෙල් වර්ගයක් ඉස්සා දැන් එක විෂ වැඩියි ; ජනතාවට බලපෑමක් වෙනවා කියල රජයෙන් තහනම් කරලා. මේ කරුණු කාරණා අතර දිනෙන් දින පාතීනියම් උවදුර දරුණු වෙනවා…
නීතියේ හැටියට පාතීනියම් වැවීමට ඉඩ හැරීම හා ළඟ තබා ගැනීමේ වරදට නම් අයෙකුට මාස හයකට නොඅඩු සිර දඬුවමක් හා රුපියල් දහසකට නොඅඩු දඩ මුදලක් අයකරනවා. නමුත් දැන් ඒක ක්‍රියාත්මක නොකරන්නේ ඒ තරමටම ව්‍යාප්ත වෙලා තියන නිසා. දැන් ඒ නීතිය හරි ක්‍රියාත්මක කරනවනම් ටිකක් හරි අඩු වෙයි. නැත්තම් ලොකු විනාශයක් තමයි වෙන්නේ ’’

සරුවට වැවුණු පාතීනියම් ගසක් අඩි 05 ක් 06 ක් උස වන අතර අතු රිකිලි බෙදෙමින් වර්ධනය සිදුවන බව සඳහන් වේ. වියළි පරිසර පද්ධතීන් තුළ ඉතා හොඳින් වැඩෙන මේ වල් ශාකය සුදු පැහැති අලංකාර වූ මලින් යුක්ත බව සඳහන්. මල් මගින් බීජ හටගැනීම සිදුවන අතර එක් ගසකින් බීජ 25,000 ක් 30,000 ක් පමණ මුදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙළි කර ඇති දත්තයන්හි සඳහන් වේ.
පාතීනියම් ශාකයේ එක් මල් පොකුරක ඉතා සියුම් බීජ 5000 ත් 7000ත් අතර ප්‍රමාණයක් හටගැනීමේ හැකියාව පවතී. නියං සමයට සුළඟ මගින් එම බීජ ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් වසරකට නව පාතීනියම් ශාක ලක්ෂයක් පමණ මව් ශාකයට නුදුරින් හට ගැනීමේ හැකියාව පවතින බව සඳහන් ය. වියළි පරිසර පද්ධතියක මෙම ශාකය ඉතා හොඳින් වර්ධනය වුණත්, තෙත් බිම්, මුඩු බිම්, ගංගා ඇළ දොළ ආශ්‍රිතව, වගාබිම් ආශ්‍රිතව, මාර්ග දෙපස, දුම්රිය මාර්ග පද්ධතිවල මෙන්ම ඕනෑම කටුක පරිසර තත්වයක් තුළ නොනැසී පැවතීමේ හැකියාව පාතීනියම් ශාකය සතුව පවතිනවා. ශාකය පැතිරී යාම ප්‍රධාන වශයෙන් ජල මූලාශ්‍ර මඟින්, සතුන් මඟින්, වාහන පෘෂ්ඨ මඟින්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ මඟින්, ධාන්‍ය සමඟ මිශ්‍ර වීම මඟින් මෙන්ම සුළඟ මඟින් මව් ශාකයේ සිට කෙටි දුරක් දක්වා පැතිරී යාම සිදු වේ. මෙහි ඇති බරපතලම තත්වය වනුයේ මෙම බීජවලට වසර ගණනාවක් පුරා නොනැසී පැවතීමට ඇති හැකියාවයි. ඒ අනුව පස සමඟ මිශ්‍ර වන බීජ වසර ගණනාවක් පුරා නොනැසී පැවතෙමින් වර්ෂාපතනය ආරම්භ වීමත් සමඟ වර්ධනය වීම අරඹයි. . දින 180 – 240 අතර කාල පරාසයක ජීව කාලයක් තුළ මෙම ශාකය සම්පුර්ණයෙන් ම පරිණතව වැඩී, ඉතා විශාල බීජ සංඛ්‍යාවක් පරිසරයට මුදාහරිමින් විනාශ වී යන බව කෘෂිකරම් දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
පාතීනියම් ශාකයේ පරාග කණිකා වියළී ගොස් වාතය සමඟ මුසු වන ශාක කොටස් සහ මුල්, කොළ වැනි එක් එක් කොටස් මිනිසා මත විවිධාකාර ආසාත්මිකතා ඇති කරන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබේ.. ශ්වසනාලිකා ප්‍රදාහය, චර්ම ප්‍රදාහය, පීනස් රෝගය, ඇදුම රෝගය මේවා අතර ප්රමුබව දැකගත හැකි රෝග වේ. යම් හෙයකින් පාතීනියම් ශාක කොටස් ශරීරගත වීමක් සිදුවුවහොත් එය මිනිසාට මාරාන්තික වීමේ හැකියාව ද පවතින බව හඳුනාගෙන ඇත.. සම මත ස්පර්ශ වීමෙන් කුෂ්ඨ, තුවාල සහ වණවීම් සිදුවන බවත්, වාතය සමඟ මුසුව ස්වසන මාර්ගය හරහා ශරීරගත වුවහොත් ස්වසනාබාධ ඇති වීමේ හැකියාව ද පවතින බවට වෛද්‍යවරුන් විසින් පෙන්වා දී ඇත.
මේ පිළිබඳව වව්නියාව දිස්ත්‍රීක් කෘෂිකර්ම කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියෙකු කියා සිටියේ,
‘‘මේ දින වල පාතීනියම් ව්‍යාප්තිය වැඩි වෙලා කියලා පිළිගන්නවා .නමුත් මේක මර්ධනයට බෙහෙතක් නැහැ තිබුණු බෙහෙත් තහනම් කරල තියෙන්නේ . ඒක නිසා මේ උවදුර මර්ධනය කිරීමට ඇති එකම හැකියාව වන්නේ පාතීනියම් ශාඛය පිටින්ම උදුරා ගිනි තැබීමයි නමුත් මේ කාලයේ වර්ෂාව නැති නිසා පොළව හයියයි ගස් ගලවන්න බැහැ ඒක නිසා මේක ගැටලූ සහගතයි.
ඒ වගේම මේ උවදුර අඩු කර ගැනීම ජනතාව සතු වගකීමකුත් වෙනවා ගෙවත්තෙත් අවට වටපිටාවෙත් උවමනාවෙන් ඉවත් කරගන්නවානම් රෝගි තත්වයන් අඩු වෙනවා අපි පුලූවන් තරම් ශ්‍රමදාන මගින් පාතීනියම් ඉවත් කරන්න ඉදිරියට පියවර ගන්නවා’’
යුද්ධයට ගෙන ආ සාම සාධක හමුදාව දැන් නොමැත, යුද්ධයද නොමැත. නමුත් යුද්ධයට වැඩි අවදානමක් දැන් ඉතිරිව ඇති බවක් ජනතාවට හැඟෙයි .මෙය වහාම මුලින්ම උදුරා විනාශ කළ යුතු උවදුරකි.

