සමස්ත ලාංකේය සමාජය ලැබූ ජය ආපසු හැරවීමට ඉඩ නොදෙමු
ලක්මිණි නදීෂා – කොළඹ
පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිතව සමස්ත ලාංකේය සමාජය ලැබූ ජය ආපසු හැරවීමට ක්‍රියාත්මක කිසිදු ප්‍රතිගාමී බලවේගයකට ඉඩක් නොතැබිය යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
මාර්තු මස 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13ක් බවත් මෙවර එම ගණන 22ක් බවට පත්කිරීමට හැකිවීම සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවම ලැබූ ජයග්‍රණයක් බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. එම ජයග්‍රහණය ඉබේ සිදුවූවක් නොව මෙරට කාන්තාවන් සිදු කළ ඓතිහාසික අරගලයක ප්‍රතිඵලයක් බවත් ඇය පැව පැවසුවාය. එසේම කාන්තාවන්ට දේශපාලනය, පරිපාලනය සිදු කළ නොහැකි බවට පැවති මත වැරදි බව තහවුරු වී ඇති බවත් මෙහිදී ඇය පෙන්වා දුන්නාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මෙවැනි ජයග්‍රහණයක් තුළ වුවද කාන්තාවට හිමි සංස්කෘතිකමය කාරණා මුල්කර ගනිමින් ප්‍රහාර එල්ල කරන පිරිසක් මෙය සංස්කෘතිමය යුද්ධයක තත්ත්වයකට පත්කිරීමට උත්සහ කරන බවයි. ඊට කිසිදු අයුරකින් ඉඩ නොතැබිය යුතු බවත් ලැබූ ජය ආරක්ෂා කරගනිමින් තවදුරටත් වර්ධනය කිරීමට කැපවිය යුතු බවත් ඇය අවධාරණය කළාය.
සියලු ක්ෂේත්‍රයන් තුළ කාන්තා නියෝජනය ඇතුළු කාන්තා නායකත්වයට ඇති බාධාවන් ක්‍රමානුකූලව ඉවත් කරමින් සියලු දෙනාටම සාධාරණව සමානාත්මතාවයෙන් හා සුරක්ෂිතව ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය කිරීමට කැපවී ක්‍රියා කරන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉටුකරන සුවිශේෂි කාර්යභාර්ය පිළිබඳව තමා සතුටුවන බවත් ඇය සඳහන් කළාය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ මෙවර කාන්තා දිනයට සමගාමීව කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒ අනුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවයි. මෙතෙක් දේශපාලනය තුළ කරලියට නොපැමිණි විශාල පිරිසකගේ හඬ මෙවර පාර්ලිමේන්තුවෙන් නියෝජනය වන බවත් එය ගාමක බලයක් ලෙස මෙරට ඉදිරි සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම අරමුණ බවත් අමාත්‍යවරිය පැවසුවාය.
දේශපාලන පවුල් පසුබිම්වලට වඩා තමන්ගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන වැඩි කාන්තාවන් පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මෙවර සුවිශේෂී තත්ත්වයක් බවත් ඇය පෙන්වා දුන්නාය. කාන්තා නියෝජනය වැඩිකිරීම, කාන්තා ආරක්ෂණය, ඇතුළු අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දසවැනි පාර්ලිමේන්තුවේදීත් කැපවී කටයුතු කරන බව ද අමාත්‍යවරිය අවධාරණය කළාය.
එසේම මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමීන්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක අගයක් හිමිවීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ලෙස තමා සතුටුවන බවයි. පළාත් පාලන ආයතනවල එම අගය 25%ක් බැවින් ද කලාපයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ද මෙරට පාර්ලිමේන්තුවේ මෙම නියෝජනය පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බවත් ඇය පැවසීය. පාකිස්තානයේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ආසන්න වශයෙන් 30% ක අගයක් බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම කිසිදු පක්ෂ භේදයකින් තොරව එකමුතුව මෙරට කාන්තාවන්ගේ ගැටලු විසඳීම සඳහා කටයුතු කරන බව ද කිරිඇල්ල මහත්මිය අවධාරණය කළාය.
එසේම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ වඩාත් සක්‍රීය සංසදයක් ලෙස දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය වැඩිකිරීම, කාන්තා අයිතිවාසිකම් හා සමානාත්මතාව ආරක්ෂා කිරීම, කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, කාන්තා ශ්‍රමිකයන්ගේ අයිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් දසවැනි පාර්ලිමේන්තුව තුළදී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.
