සමන් දෙවියන්ට පිටුපාන රාජකාරීකරුවෝ

අජිත්ලාල් ශාන්ත උදය ,රත්නපුර

දෙවි දේවතාවුන් පිළිබද විශ්වාසය සහ ඇදහීම ශ්‍රීලාංකිකයන්ගේ පරම්පරාගත වන්දනා ක්‍රමයකි. බුද්ධාගම අනුව තිස්තුන් කෝටියක් දෙවි දේවාතාවුන් සිටිතැයි සඳහන්ය. ඒ අතර සුමන සමන් දෙවියන් වැඩිපුර අදහන්නේ, විශ්වාස කරන්නේ සබරගමුවේ බෞද්ධ ජනතාවය.

දුරාතීතයේ සුමන නමින් සිටි ප්‍රාදේශිය පාලකයෙක් මරණින් මතු දේවත්වයට පත්ව ජනතාවගෙන් වැඳුම් පිදුම් ලබන බව සුමන සමන් දෙවියන් පිළිබදව කියවෙන ජනප්‍රවාද වලින් සහ සමන් දෙවියන් පිළිබද ලියැවුණු පොතපතේ සදහන් වෙයි.

තථාගත බුදුරජාණන් වහන්සේ සමනල කන්දේ සිරිපා සලකුණ තබන්නේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බව බෞද්ධ පොතපතේ සදහන්වෙයි. ඒ නිසා සුමන සමන් දෙවියන්ගේ වාසභවන නොඑසේනම් සුමන සමන් දෙවියන්ගේ බැල්ම ඇත්තේ සමනළ අඩවියට බව ජනතාවගේ විශ්වාසයයි.

ලංකාවේ අතීතයේ රජකළ රජවරුන්ගේ අවධානය ද සිරිපා ලාංඡනය ඇතැයි විශ්වාස කරන සමනළ අඩවියට යොමුවී ඇත. සමනල කන්ද ශ්‍රීපාදය ලෙස හදුන්වන්නේ ඒ නිසාය. ශ්‍රීපාදස්ථානයට අධිගෘහිත සුමන සමන් දෙවියන්ගේ වාසස්ථානය රත්නපුරේ පිහිටි සබරගමු මහ සමන් දේවාලය යැයි විශ්වාසයක් පවතී.

සමන් දෙවියන් උදෙසා මහියංගනය, දැරණියගල සහ බොල්තුඹ යන ස්ථානවල තවත් සමන් දේවාල හතරක් පවතී.  මෙම දේවාලවල දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබයි. එසේම ලෙඩක්, දුකක් කරදරයක්, වු විට පිහිටක්, සරණක් ලබන්නට දෙවියන්ට පූජා පැවත්විම, භාරහාර විම , එසේ භාරවු භාර වලින් නිදහස්විම ආදී ක්‍රියාවන් දේවාල ආශ්‍රිතව සිදු කරනු ලබයි.

අතීතයේ මේ සදහා කැපවෙන ජනයා වෙනුවෙන් යැපීම් සදහා නින්දගම් ද ප්‍රදානය කරනු ලැබීය. ඇතැම් දේවාලවල ඇතුල් කට්ටලය සහ පිට කට්ටලය යනුවෙන් රාජකාරී බෙදා දී තිබුණි. ඔවුන්ගේ රාජකාරිය වූයේ දේවාලය ආරක්ෂා කරගෙන මහජනතාව වෙනුවෙන් දෙවියන්ට පුද පූජාවන් සිදුකිරීමය. වැටුපක් වෙනුවට නිද්දගම් දුන් අතර ඒවා අස්වද්දා ලබන ආදායමින් ජීවත් වෙමින් දෙවියන් වෙනුවෙන් දේවාලයේ රාජකාරි කළ යුතු විය.

සැබැවින්ම මෙය වැඩවසම් ක්‍රමයක් විය. කුලවතා දේවාලයේ භාරකරු විය. නිලනාමය බස්නායක නිළමේය. බස්නායක නිළමෙට පහළින් තවත් තනතුරු ඇත. එසේ රාජකාරි බෙදී ඇත්තේ ඉ  හළ කුලයේ සිට පහළ කුලය දක්වාය. අණ පනත්වල කුලය ගැන සදහන් වන්නේ ‘සාම්ප්‍රදාය’ යන වචනයෙනි.

මේ දිනවල සුමන සමන් දෙවියන් වැඩසිටින බවට විශ්වාස කරන රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකාර තනතුර සම්බන්ධයෙන් ගැටලුවක් පැනනැගී ඇත.

ඉංග්‍රීසින් ලංකාව අල්ලා ගැනීමෙන් පසු, රජු විසින් සන්නස්, සෙල්ලිපි, කුඩපත් ආදිය මගින් පවරා දි තිබූ තැන් පාලනය කළ විහාර දේවාලගම් ආදිය පාලනය කිරිමට, 1930දී විහාර දේවාලගම් පනත යනුවෙන් පනතක් ගෙනෙනු ලැබීය.

සබරගමු මහ සමන් දේවාලයේ ප්‍රධාන පාලකයා බස්නායක නිලමෙවරයා පත් කරන්නේ එකි පනත අනුවය. බස්නායක නිළමේවරයාට පහළින් සිටින පිටකට්ටලේට අයත් රත්නක හෙවත් රත්නායක, මුදන්නායක, වන්නකු, මොහොට්ටාලවරු, විදාන, කංකානම්, දුරයා, ආදී තනතුරු ඇත. ඊට අමතරව ඇතුල් කට්ටලේ කපුරාළ, බත්වඩනරාළ, පැන්වඩන රාළ, ආදි තනතුරු ඇත.

විහාර දේවාලගම් පනත අනුව බස්නායක නිළමේ පත්කරන්නේ ඡන්දයකිනි. නිල කාලය වසර පහකි. 1930 විහාර දේවාලගම් පනතට විවිධ සංශෝධන එක්වි වර්ථමානයේ ක්‍රියාත්මක වන්නේ 2013 අංක 34 දරණ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධිත) පනතය.

කුමන පනතක් ක්‍රියාත්මක වුවද මේ පනතින් පාලනය වන විහාර දේවාල වල ඇත්තේ පැරණි වැඩවසම් ක්‍රමයේ නෂ්ඨාවශේෂය. ඉහළ කුලයේ සිට පහළ කුලය දක්වා කුල දහඅටක් දේවාල ආශ්‍රිතව රාජකාරි කළ යුතුය.

සබරගමු මහ සමන් දේවාලයට බස්නායක නිළමෙවරයෙකු තෝරන්නේ ඡන්දයෙනි. ඡන්දය ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලෙකම්වරුන්ට, රත්නපුර දිස්ත්‍රික්කයේ පිටිහි, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේට, ඉඹුල්පේ පිහිටි උග්ගල් අලුත්නුවර කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට, ගොඩකවෙල, අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරුන්ට සහ සබරගමු මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිළමෙවරයා හෙවත් තාවකාලික භාරකරුටය. ඊට අමතරව රත්නපුර ශ්‍රී සද්ධාර්මාලංකාර පිරිවෙන් විහාරයේ ගිහි භාරකරුටත් ශ්‍රීපාදස්ථානයේ ගිහිභාරකරුටත් ඡන්දයක් හිමිය.

සබරගමු මහ සමන් දේවාලයට අවසන් වරට ඡන්දයෙන් බස්නායක නිළමෙවරයෙක් පත්වන්නේ 2018 දීය. ඔහුගේ පාලන කාලය 2023 අවසන් විය. අලුතින් බස්නායක නිළමෙවරයෙක් ඡන්දයෙන් තෝරාගත යුතු විය. සංශෝධිත පනත අනුව නිලකාලය අවසන්වන බස්නායක නිළමෙවරයාට රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තවත් වසර දෙකක් බස්නායක නිළමේ තනතුර ජනාධිපතිවරයා ලවා දීර්ඝ කරවා ගත හැකිය. ඒ දිර්ඝ කිරිම ජනාධිපතිවරයාට කළ හැක්කේ වසරින් වසරය.

2018 ජූනි මාසයේ දී පත්වු බස්නායක නිළමේවරයාගේ කාලය 2023 ජුනි මාසයේ සිට 2024 ජුනි මාසය දක්වා වසරකින් දිර්ඝකර තිබුණි. තවත් වසරකින් තම සේවා කාලය ලෙස දිර්ඝ කරන ලෙස 2024 ජුනි මාසයේ සේවාකාලය අවසන් වන බස්නායකවරයා එවක සිටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කළේය. නමුත් සේවා දිගුව ලැබුණේ 2024 දෙසැම්බර් 31 දින තෙක්වු මාස හයට පමණි. ඉන් ඉදිරියට ජනාධිපතිවරයාට සේවා දිගුවක් ලබාදිය නොහැකි අතර 2024 දෙසැම්බර් 31 දිනවන විට ඡන්දය පවත්වා නව බස්නායක නිළමෙවරයෙකු තෝරා පත්කරගත් යුතු විය.

බස්නායක නිළමෙවරයාගේ පත්වීම අවසන් වන දිනයට පෙර ඡන්දය පැවැත්විමට නොහැකිවුව හොත්, නිලකාලය අවසන්වු දිනට පසුදින පටන් දේවාලයට තාවකාලික භාරකරුවෙක් පත්කළ යුතුය. එය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් කළ යුතුය. නැත්නම් එහි භාරකාරත්වය බෞද්ධකටයුතු කොමසාරිස් ජනරාල්වරයා සතුව තබාගත යුතුය. බොහෝවිට තාවකාලික භාරකරු ලෙස පත්කරන්නේ නිලකාලය අවසන්වු බස්නායක නිළමේය. නව බස්නායක නිළමේවරයෙක් තෝරන ඡන්දයේදී තාවකාලික භාරකරුටද ඡන්දයක් හිමිය.

හිටපු බස්නායක නිළමේවරයා වැඩබලන තාවකාලික භාරකරු ලෙස පත් නොකර ඔහුට එරෙහිව විගණනයක් කරන්නැයි පිරිසක් දේවාලය සුරැකීමේ සංවිධානය නමින් ගොනුවී විරෝධතාවක් 2024 දෙසැම්බර් අවසන් සතියේ පැවැත්වීය.

 

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා 2025 ජනවාරි 01 දින සිට සබරගමු මහ සමන් දේවාලයට තාවකාලික භාරකරුවෙක් පත්කළේය. ඉදිරිපත්වු සහ සමාජයේ කතිකාවන් අනුව නිලකාලය අවසන් වු බස්නායක නිළමේවරයා තාවකාලික භාරකරු ලෙස පත්නොකිරිම ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට දේවාලයට සම්බන්ධ ඉහළ කුලවලින් චෝදනා එල්ලවිය. එසේම පත්කළ තාවකාලික භාරකරු ද කුලයෙන් පහත් කෙනෙක් යැයි නොකියා, සම්ප්‍රදායෙන් පිට කෙනක් පත් කරන ලදැයි චෝදනා එල්ලවන්නට විය.

ඇතුල් කට්ටලේ සහ පිටකට්ටලේ කුලවන්තයෝ සහ අඩු කුලයේ යැයි ඔවුන් විසින්ම පෙන්වා දෙන රාජකාරීකරුවන් නව භාරකරු පිළිනොගන්නා බව විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රසිද්ධියේ කියන්නට වූහ. පිට කට්ටලේ රාජකාරීකරුවෝ දේවාලයට පැමිණ රාජකාරී කිරීම ද මේ නිසා ප්‍රතික්ෂේප කළහ.

සබරගමු මහ සමන් දේවාලයට අක්කර අටදාහක් ඇත. කුරුවිට බෙත්මේ සහ හංගමු බෙත්මේ ලෙස බෙත්ම දෙකකට බෙදා ඒවා පාලනය කෙරෙයි. දේවාලයට අයත් මේ ඉඩම් මැණික් ආකර බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ අදහසේ වරදක් පෙන්නට ද නැත. මැණික් ගැරීමේ බලපත්‍ර හයසියයකට අධික ප්‍රමාණයක් සමන් දේවාලයෙන් 2024 දෙසැම්බර් වනවිට නිකුත් කරතිබුණ බව හෙළදරවු වි තිබුණි. ඒවා බලාගන්නේ, ඒවායෙන් මුදල් දේවාලයට අයකරගන්නේ පිට කට්ටලේ රාජකාරීකරුවන් මැදිහත්වය. තාවකාලික බස්නායක සමග රාජකාරී කිරිමට එකග නොවුනද පතල්වල මැණික් ගැරීම්, විකිණිම් වෙනසක් නැතිව පවත්වාගෙන යනු ලැබිණි. ඉහළ අධිකරණයක ඇතැයි කියන නඩු තීන්දුවක් පදනම් කරගෙන දේවාලයට අයත් පංගුව නොදී බලපත්‍රලාභින් සිටින බව කියන්නේ පිටකට්ටලේ රාජකාරීකරුවන්ය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් තාවකාලික භාරකරු පත්කර තිබුණේ  බස්නායක නිළමෙවරයෙකු පත්කරගන්නා තෙක්ය. තොරතුරු පනතින් ඒ බව තහවුරු කර ගත්තෙමි. පිට කට්ටලයේ කුලවන්ත රාජකාරීකරුවන් පැවසුවේ ඔහු සාම්ප්‍රදායෙන් පිට කෙනෙක් ( කුලයෙන් පහළ කෙනෙක්) නිසා තමන්ට ඔහුට බුලත් දි ගෞරව කළ නොහැකි බවය.

එහෙත් ඔහු සම්බන්ධව ඇති තොරතුරු අනුව ඔහු ද කුලයෙන් ඉහළ නැත්නම් ගොවිගම කුලයේ අයෙක් බව දැනගන්නට ලැබුණි. ඔහු විදානේ යන කුලයට අයත් යැයි සඳහන් වෙයි.

බස්නායක නිලමෙවරයෙක් තොරා ගැනීමේ ඡන්දය 2025 පෙබරවාරි 11දින පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වන විට  නිවේදන කර ඇත. ඒ සදහා ඡන්දය ප්‍රකාශ කළ හැකි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18න් 10ක සිටින්නේ කාන්තාවන්ය. සද්ධර්මාලංකාර පිරිවෙනේ ගිහිභාරකාරයාගේ තනතුරට ද කෙනෙක් තවමත් පත්කර නැත. බස්නායක නිළමෙවරයෙක් පත් කිරිමට නියමිත ඡන්ද 24න්  11ක ඡන්ද නැත. ඒ අනුව  පෙබරවාරි 11දා පවත්වන ඡන්දයේදී නව බස්නායක නිලමෙවරයෙකු පත්කිරීමට  සුදුසුකම් ලබන ඡන්ද සංඛාව 13කි.

ඡන්දයට ඉල්ලන පිරිසට එක ඡන්දයත් වැදගත් වනු ඇත. කාවකාලික භාරකරු පත්කරන ලද්දේ එන්.පි.පී ආන්ඩුවේ බලපෑමට බව නැගෙන චෝදනාවක්ද තිබේ. කෙසේ වෙතත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ පත් කිරීම කරන ලද්දේ එකී පත්විමට එරෙහිව අත්හිටුවීමේ නියෝගයක් අධිකරණයෙන් ගතහැකිවන වගන්තියක් අනුව බව පරිපාලන විද්වත්තු සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිකරන්නට වූහ.

වත්මන් ආණ්ඩුව කැමති කෙනෙක් බස්නායක නිළමේ තනතුරට පත් කිරිමට රාජ්‍ය බලය යොදා කටයුතු කළහොත්, තාවකාලික භාරකරුගේ ඡන්දය ද ඒ පක්ෂයට හිමි බැවින්, තාවකාලික භාරකරුගේ ඡන්ද බලය නැතිකිරීමට බස්නායක නිළමේ  තනතුරට ඉදිරිපත්වීමට ආශාවෙන් සිටින කිහිප දෙනෙකුට උවමනා විය.

පරිපාලන විද්වතුන්ගේ අර්ථ විග්‍රහද සැලකිල්ලට ගෙන අධිකරණයට ගිය ඔවුන්ට පෙබරවාරි 03දා අභියාචනාධිකරණයෙන් තාවකාලික භාරකරු පත්කිරිම අත්හිටුවමින් රිට් ආඥාවක් ලබාගත හැකි විය. ඒ නිසා දැන් 11දා පැවැත්වෙන් ඡන්දයේදි බස්නායක නිලමේවරයෙක් පත්කරගන්නට සුදුසුකම් ලබන ඡන්ද දායකයන් ගණන 12ක් දක්වා පහළ බැස තිබේ.

නිලකාලය අවසන් වනවිට එකි තනතුර දැරූ බස්නායක නිළමේවරයාගේ පාලන කාලය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමන් දේවාලයේ කළ විගණන පරීක්ෂණයකින් ඇත්දළ හතරක ඌණතාවක් ඇති බව හෙළි වී ඇත. ඒ සම්බන්ධයෙන් හා දේවාලයේ ඔප්පු තිරප්පු, මැණික්, රත්‍රං, මුදල් ආදි වැදගත් දෑ ආරක්ෂිතව ඇති ආරක්ෂිත සේප්පුවේ රහස් අංකය හිටපු බස්නායක නිළමේවරයාට මතක නැති බව පැවසීම නිසා, එම සේප්පුවට සීල් තැබූ බව සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින්  රත්නපුර පොලිසියට පැමිණිල්ලක් කර , ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නා ලෙස සටහන් කර ඇත.

එහෙත් මේ පැමිණිල්ලේ අඩංගු කරුණු සම්බන්ධයෙන් චෝදනා ලබන පාර්ශවයන් පොලිසියට කට උත්තරදීම වෙනුවට සමාජ මාධ්‍යය හරහා උත්තර දීමේ යෙදෙන බව පෙනේ.

සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු පත් කිරීමේ සිද්ධිය ගැඹුරින් සලකා බලද්දී, මෙය මුදල් සහ වරප්‍රසාද හේතුවෙන් ඇතිකරගත් ප්‍රශ්නයක් මිස සුමන සමන් දෙවියන්ට රාජකාරී කිරිමට ඇති දැඩි භක්තිය මත ඇතිවූ ගැටලුවක් නොවන බව සුමන සමන් දෙවියන් අදහන ජනතාවගේ විශ්වාසයයි.

තමන්ගේ දුකකදී ගැටලුවක දී  පිහිට පතා සමන් දෙවියන් හමුවට යන බැතිමතුන්ගේ විශ්වාසය කඩවන අන්දමින් දෙවියන් වෙනුවෙන් ඇපකැප වූවන් ක්‍රියා කරන බවට බැතිමතුන් තුළ කලකිරීමක් මතුවෙමින් පවතී.

ඡායාරූප කැප්සන්:

01 සමන් දෙවියන්

02 සමන් දෙවාලය

07 බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ පැමිණිල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *