(අජිත්ලාල් ශාන්තඋදය)
දේශපාලන අධිකාරියේ හෝ සබරගමු පලාත් සභාවේ ඉහළ නිලධාරින්ගේ යම් බලපැමක් සබරගමුව පළාත් සභාව මගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් සංවර්ධන අරමුදල් වලින් රුපියල් කෝටි හතකට වැඩි ප්‍රමාණයක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුව තිබේදැයි විමර්ශනය කරන්නැයි ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා 04දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරි වයි.එම්.පී බණ්ඩාර, හිටපු ලේකම්වරයෙකු වු සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර සහ හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර, සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් දේවප්‍රිය විජයරාජ, එම අමාත්‍යංශයේ හිටපු සහකාර සැලසුම් අධ්යක්ෂ කුසුම්ලතා කුමානායක, කොන්ත්‍රාත්කරුවෙකු වු ඇඹිලිපිටිය, බුරුතකන්ද ලිපිනයේ පදිංචි රණසිංහ විදාන ආරච්චියේ ශාන්ත කුමාර යන හය දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට රිමාන්ඩ්භාරයේ පසුවෙයි. ඔවුන් බන්ධනාගාරය මගින් මෙදින අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.
ජනාධිපති නීතීඥ උපාලි මොහොට්ටි, විජිත ජී පුංචිහේවා, අරවින්ද සමරසිංහ යන නිතීඥ මහත්වරු පසුගිය මැයි 08දා මෙම සැකකරුවන්ට ඇප ලබාදෙන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලිමක් කළහ. එකී ඇප ඉල්ලිම සම්බන්ධයෙන් නියෝගය දීම සදහා නඩුව 04දා කැඳවන ලදී. එහිදී ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරණ ලදී.
මෙම ව්‍යාපෘති වල මුදල් ලබාගත් ස්වේච්ඡා සංවිධාන වලට යම් බලපෑම් කර ඇද්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කර වාර්තා කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ 2016 සහ 2017 වර්ෂ සදහා විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාලව, රුපියල් 7,16,45,226.32ක මුදල් වංචා කිරිම අලාභයක් සිදුකිරිම,එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූඨ ලේඛන සකස් කිරිම,පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. විමර්ශනයට ලක්වු ව්‍යාපෘති 77 අතරින් 15ක් සිදුකර නොමැති බවද අධිකරණය හමුවේ හෙළිවිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් මාර්ග හා ක්‍රීඩාපිටි ඉදිකිරිම සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති බව පෙන්වා දුන්නේය. මාර්ග ව්‍යාපෘති පහළොවක්, පස්කපන මාර්ග ව්‍යාපෘති දහතුනක්, කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ මාර්ග දොළහක්, තාරයොදා සංවර්ධනය කළ මාර්ග දොළහක්, ග්‍රෙවල් යොදා සංවර්ධනය කළ මාර්ග හයක්, ක්‍රීඩා පිටි දොළහක් යන ව්‍යාපෘති වලින් මෙම මුල්‍ය වංචාව සිදුකර තිබේ. සැකකරුවන් වරින්වර අත්අඩංගුවට ගනු ලැබීය. අවසන් වරට අත්අඩංගුවට ගනු ලැබුවේ ඇඹිලිපිටිය, බුරුතකන්ද ලිපිනයේ පදිංචි කොන්ත්රාත්කරුවෙකි.
පසුගිය මැයි 08දා සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් දේවප්‍රිය විජයරාජ යන සැකකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පැවසුවේ තම සේවාදායකයා හෘද සැත්කම් දෙකකට භාජනය කර ඇති රෝගියෙක් බවයි. බන්ධානාගරයේදී ඔහුගේ රෝගී තත්ත්වය උග්‍ර වී ඇති බව පැවසීය. ඒ නිසා ඔහු ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය. එම අමාත්‍යංශයේ හිටපු සහකාර සැලසුම් අධ්යක්ෂ කුසුම්ලතා කුමානායක යන අය ද ඇපමත මුදාහරින්නැයි ජනාධිපති නිතීඥවරයා ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රධාන පොලිස් පරීක්ෂක සජිත්, උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී.යූ. තාරුක, සැරයන්වරුන්වන 61237 ඒ.එම.එන්.ඩී.අත්තනායක, 71838 පුෂ්ප කුමාර, කොස්තාපල් 79126 කේ.එම්.ආර්.ජයවර්ධන යන නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.
වැඩිදුර විභාගය ජූනි 19 දිනට කල් තබන ලදී. සැකකරුවන් හය දෙනාම එදින දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
