නිමල් කොළඹිස්ස – මහනුවර
සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි වසර කිහිපය තුළදී මහනුවර නගරය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදාල රාජ්‍ය හා පුද්ගලික අංශ සමඟ සාකච්ඡා කළ බවත් එහි යෝජනා සතියක් තුළදී සංචාරක අමාත්‍යංශයට ලබා ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.ය්
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ , මහනුවර නගරයේ සංවර්ධනය සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති නිරීක්ෂණ සහ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
සතියක් තුළදී ලබා ගන්නා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව මාසයක් තුළදී මහනුවර කේන්ද්‍ර කොට සිදුවිය යුතු සංවර්ධන යෝජනා කුමක්ද යන්න තීරණය කරන බව ද රණසිංහ මහතා කීවේය. මහනුවර කේන්ද්‍ර කරන සියලු සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා මහනුවර පුරවැසියන්ගේ අදහස් හා යෝජනා හිමි වන බව ද ඔහු කීවේය.
දකුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල යැයි සැලකෙන මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කිරීමද මෙහි ප්‍රධාන ඉලක්කයක් බවත් වසර ගණනාවක කාලයක් තිස්සේ අතහැර දමා ඇති මෙම පරිශ්‍රය කඩිනමින් සංවර්ධනය කරන බවත් ඒ මහතා පැවසුවේය.
ඒ අනුව මහනායක හිමියන්ගේ අනුශාසනා පරිදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධීකාරිය ඇතුලු ආයතන එක්ව සැලසුම් සකස් කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම පරිශ්‍රය ආරක්ෂා වන අයුරින් සංවර්ධනය කරන බවත් ඊට වඩාත් සුදුසුම ආයෝජනය වන්නේ සංචාරකයන් මෙම ස්ථානයට ගෙන්වා ගැනීම යැයි ද පැවසුවේය.
මහනුවර නගරයේ සංකේතයක් බඳු වන බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනිමට හැකි වන බව ද සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අජිත් ප්‍රේමවංශ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලුව නගරික සංවර්ධන අධිකාරිය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්වූහ.

