ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දිරිය දියණිය

කිත්සිරි වනසිංහ, අනුරාධපුර

අම්මා පාරෙ බඩ ඉරිඟු තම්බලා විකුණනවා.තාත්ත කුලී වැඩට යනවා. අගහිගකම් රාශියයි. සර් ගෙදර ඇවිත් බලන්න අපි ඉන්න විදිය. ඒත් මම ඒ සියල්ල සතුටින් දරාගෙන මගේ ඉලක්කය ජය ගත්තා යැයි අ/වන්නම්මඩුව විදුහලේ ඉගෙනුම ලබන ඉඳුමිණි කෞශල්‍යා ප්‍රකාශ කළාය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 158 ලබා ගනිමින් ඉදුමිණී එම පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූවන් අතරින් පළමු වැනි ස්ථානය ලබා ගෙන ඇත. ශිෂ්‍යත්ව විභාගය සඳහා වූ අනුරාධපුර දිස්ත්‍රික් කඩයිම් ළකුණ  වන්නේ 137 ය.

පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගය සඳහා අ/වන්නම්මඩුව විදුහලෙන් ළමුන් 16 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති අතර ඉන් තිදෙනෙක් කඩඉම් ළකුණු ජයගැනීමට සමත්ව සිටි. අනෙකුත් සිසුන් 13 ද ලකුණු හැත්තෑව ඉලක්කය ඉක්මවමින් තම හැකියාවන් පෙන්වා තිබීම පාසලට කීර්තියක් බව විදුහල්පති එන්.එස්.ධර්මසේන මහත්මිය පැවසුවාය.

ඉදුමිණී ට වැඩිමහල් සහෝදරියක ද සිටි.ඇය ගල්කුලම අ/ධම්මදින්න විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඇගේ මව නමින් ජේ.ඒ.රම්‍යා කුමාරි (44) නම් වේ.පියා ආර්.එම්.ටී.දයාරත්න (45) වේ. උදරයේ සහ පපු පෙදෙසේ හට ගත් ගෙඩි කිහිපයක් හේතුවෙන් මව මේ වන විට වෛද්‍ය සැත්කම් පහකට භාජනය වී දැඩි ශාරීරික පසුතා මැද ජීවත් වන අතර හර්නියා රෝගී තත්ත්වයක් හේතුවෙන් පියාද වෛද්‍ය සැත්කම් දෙකකට භාජනය වී තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි.මොවුන් දෙදෙනාටම පවතින රෝගී තත්වයන් හමුවේ කය වෙහෙසා වැඩ කිරීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි ඔවුහු කියති. එසේ වුවද පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් වෛද්‍ය උපදෙස් ද පසෙකලා තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මව සහ පියා කය වෙහෙසා වැඩ කරති.කෞශල්‍යාගේ මව  කථන ආබාධයකින්ද පෙළෙන අතර ඒ කිසිවක් බාධාවක් කර නොගනිමින් දර ලිපේ ගිනි අඟුරු සහ ගිණි සැරට පැසෙන වතුර මුට්ටිය සමග උදේ සිට රෑ වෙන තෙක්ම මහ පාරේ ජීවිතය සමග පොර බඳිති.

ඉදුමිණී කෞශල්‍යා දියණියගේ සියියා ඔවුන්ට ජීවත්වීම සඳහා සිමෙන්ති ගලින් කාමර දෙකක් ඉදිකර දී ඇත. එහි වහලය හා අත්තිවාරම කොන්ක්‍රීට් වලින් සමන්විත හෙයින් ඔවුන්ට රජය මගින් ලබාදෙන අස්වැසුම ජීවන ආධාර මුදලේ දීමනාවද රුපියල් 5000කට සීමා කර ඇත. අස්වැසුම ජීවනාධාර දීමනාව ලබාදීමේදී කොන්ක්‍රීට් බදාම පිළිබඳව තක්සේරු කළ නිලධාරීන් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රායෝගික ගැටලු පිළිබඳව තක්සේරුවක් කර නොතිබීම අවාසනාවන්ත සිදුවීමකි.

තම සීයා  සාදා දුන් කාමර දෙකට අමතරව පොල් අතු වට කර ගනිමින් තවත් එක් කාමරයක් සහ නිවසේ මුළුතැන් ගෙය  ඔවුන් සකසා ගෙන ඇති අතර එයද ඉතා අබලන් තත්ත්වයක පවතී. දෛනිකව ඔවුන් සපයා ගන්නා මුදලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ දෛනික ජීවන අරගලය ද පිරිමසා ගනිමින් රෝගී තත්වයන් සඳහා අවශ්‍ය ප්‍රතිකාරද ලබා ගනිමින් ඔවුන් ගෙවන දුෂ්කර ජීවිතය අතිශය ඛේදජනකය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඉඳුමිණී කෞශල්‍යා දියණියගේ පන්තිභාර ගුරුවරයා වන තිලකරත්න අවුසදපිටිය මහතා මෙසේ ප්‍රකාශ කළේය.

මම මේ දරුවන්ගේ පවුල් පසුබිම ආර්ථික අපහසුතාවයන් හොඳින් වටහා ගත්තා.ඒ අනුව පන්ති කාමරය තුළ ඒ කිසිවක් නොදැනෙන විදිහට දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරගෙන ගියා. මේ දරුවා ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් කිසිදු උපකාරක පන්තියකට කිසි දිනෙක සහභාගි වෙලා නෑ. පාසලේ පන්ති භාර ගුරුවරයා හැටියට පන්ති කාමරය තුළ මා කළ ඉගැන්වීම් වල නිවැරදි ලෙස කිසිදු අලස කමක් නැතිව කැපවීමෙන් යුක්තව කටයුතු කළ නිසා ඇය මේ ඉලක්කය කරා ළඟා වුණා. දරුවගේ බලාපොරොත්තුව තියෙන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට හෝ ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලට ඇතුළත් වීමට. මොවුන්ට මේ පවතින ආර්ථික අපහසුතා මගහරිමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න කවුරුන් හෝ උපකාරයක් කරනවා නම් එය මා හැඟී පින්කමක් ලෙස මම දකිනවා. කවුරුන් හෝ මේ දරුවාගේ අධ්‍යාපනයට උපකාරයක් වන්නට එමෙන්ම ඔවුන් ජිවත් වන නිවස පවතින තත්ත්වයෙන් යම් මට්ටමකට සංවර්ධනය කර ගැනීමට සහයක් වීමට හැකි නම් එය දරුවාගේ අනාගතයට කරන ලොකු උපකාරයක් ලෙස මම දකිනවා.

ඉඳමිණී කෞශල්‍යා දියණිය හට උපකාරය කිරීමට කැමති අයෙකු වෙතොත් 0776574592 මෙම අංකය අමතා සහාය විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *