නික්කි රණසිංහ

හින්දු සංස්කෘතියට අනුව ප්‍රධාන දෙවිවරුන් තිදෙනෙකි. ලෝකය මවන්නා බ්‍රහ්ම දෙවියන් වන අතර පාලනය කරන්නා විෂ්ණු දෙවියාය. ශිව දෙවියන් යනු ලෝකය විනාශ කරන දෙවියන් වේ. මේ නිසා ශිව දෙවියන්ව “විනාශකරන්නා” යන නමින් ද හැඳින්වෙයි.
භාවනාවට, කලාවට, යෝගවලට සහ නර්ථනයට අධිපති ශිව දෙවියන් බෝලෙනාථ, මහාදේව, නීලඝණ්ඨ, චන්ද්‍රශේඛර යන නම් වලින් ද හඳුන්වයි. ශිව දෙවියන්ගේ වාහනය වෘෂභයා වන අතර ආයුධය ත්‍රිශූලය ද, වාද්‍ය භාණ්ඩය ලෙස උඩැක්කිය ද භාවිතා කරයි.
ශිව දෙවියන්ට ඇස් තුනක් හිමි අතර තුන්වන ඇස නළලෙහි මැද පිහිටා තිබේ. කිසියම් හේතුවකට මේ තුන්වන ඇසින් බැලුවහොත් ඒ බැල්මට හසුවන සියලු දේම ගිනිගෙන අළු බවට පත් වී විනාශ වී යයි.
මහා ශිව රාත්‍රිය ශිව දෙවියන්ගේ උත්සවයයි.
ශිව රාත්‍රීන් සෑම මාසයකටම වරක් බැඟින් උදාවෙයි. මෙසේ උදාවෙන ශිව රාත්‍රීන් “නිත්‍ය ශිව රාත්‍රීන්” වන අතර ,දින පහළොවක් එක දිගටම නොකඩවා උපවාසයේ යෙදෙන ශිව රාත්‍රිය “පක්ෂ ශිව” රාත්‍රිය යනුවෙන්ද, සඳුදා දවසක මාසයේ පොහොය දිනය ලැබුවහොත් ලබන ශිව රාත්‍රිය “යෝග ශිව රාත්‍රිය” යනුවෙන් ද හැඳින්වෙයි. ශිව රාත්‍රීන් බොහෝ ප්‍රමාණයක් මහාදේව වෙනුවෙන් කැප වී තිබුණ ද “මහා ශිව රාත්‍රිය” එළඹෙන්නේ සම්පූර්ණ වසරකටම එකම එක වතාවකි. එය 2025 වසරේදී පෙබරවාරි 26 දිනට වෙන් වී තිබේ.
මහා ශිව රාත්‍රිය නිර්මාණය වීම පිළිබඳව ඉතාමත් පැරණි කතා බොහෝමයක් පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත. ඒවා ඉතා රසවත් සහ අතිශය මායාකාරී ලෙස බලවත් ය.
මේ ගරුඬ පුරාණයේ සඳහන්ව ඇති කතාවකි.
එක්තරා කාලයක දඩයක්කරුවෙක් ජීවත්ව සිටි අතර ඔහු තම අතිශය හිතවත් සහ විස්වාසදායක දඩයම් සුනඛයා ද සමඟින් දිනක් දඩයම් සඳහා පිටත්ව ගියද කිසිදු දඩයමක් සොයා ගත නොහැකි විය. අධික ලෙස කුසගින්නෙන් ඔහුගේ උදරය දැවෙන්නට වුණු අතර පිපාසාව නිසා ඔහුගේ මුඛය වියළී ගොස් තිබුණි. මේ නිසා දඩයක්කරුවා වනාන්තරයේ හමුවූ පොකුණක් අසළ විවේකය පතා අසුන් ගත්තේය. ඒ අසළම තිබූ බෙලි ගසක් යට ශිව ලිංගයක් ද දක්නට ලැබිණි. දඩයක්කරුවා විවේකය සඳහා බෙලි ගසෙන් පත්‍ර කිහිපයක් කඩා ගත් අතර ඉන් අතැරුණු කොළ කිහිපයක් ශිව ලිංගය මතට ද වැටුණි. පොකුණෙන් ඔහු පාද පිරිසිදු කිරීම සඳහා ගත් ජලයෙන් ඉහිරුණු ජලය ස්වල්පයක් ද ශිව ලිංගය මතට වැටුණි. ඔහුගේ කොපුවේ තිබුණු එක් ඊතලයක් අහම්බෙන් ඉන් ගිලිහී ගිය අතර මේ නිසා ඔහු නොදැනුවත්වම ශිව ලිංගය අසළ වැඳ වැටෙන්නට විය. දඩයක්කරුවා තමාගේ අනුදැනුමකින් ද තොරව එදින ප්‍රථම වතාවට ශිව රාත්‍රී දිනයේ දී ශිව පූජාව සම්පූර්ණයෙන්ම සිදු කර ඇත. ඔහු මියගිය පසු යම දෙවියන්ගේ දූතයන් දඩයක්කාර ආත්මය වෙනුවෙන් පැමිණිය ද මහාදේව ඔහුව ආරක්ෂා කළේය.
මහා ශිව පුරාණයේ සඳහන්ව ඇත්තේ තවත් කතාවකි.
බොහොම අතීතයේ එක්තරා කාලයක පාර්වතී දේවිය ශිව දෙවියන්ගේ දෑසම තම දෑත් වලින් වැසුවාය. එය බොහොම ආදරණීය විහිළුවක් පමණක් වූ නමුත් මේ නිසා මුළු ලෝකයම බොහොම තද ඝන අන්ධකාරයකින් වැසී ගියේය. ආලෝකය නොමැතිකම සහ අතින් ස්පර්ශ කළ හැකි තරම් ඝන අන්ධකාරය නිසා ලෝකයේ සිටින සියළුම ජීවිහු පීඩාවට පත් වුණෝය. මේ නිසා එකොළොස් කෝටියක් දේවතාවන්ගේ ප්‍රධානත්වයෙන් මහාදේව වෙනුවෙන් පුද පූජා පැවැත්විණි. මේ සිදුවීම මහා ශිව රාත්‍රිය ලෙස ලෝකයා විසින් සමරන්නේය.
වඩාත්ම ප්‍රසිද්ධ තවත් කතාවක් මෙසේ ය.
ප්‍රජාපතී රජුට සතී නමින් දියණියක් ඉපදී සිටියා ය. මේ ප්‍රජාපතී රජු යනු බ්‍රහ්ම දෙවියාගේ පුත්‍රයෙකි. එකළ බ්‍රහ්ම දෙවියාට හිස් හතරක් තිබුණු අතර මේ සතරවන හිස ආඩම්බරකම නම් විය. බ්‍රහ්ම දෙවියන්ගේ උඩඟුකම පිළිබඳව කෝප ගත් ශිව දෙවියන් මේ සතරවන හිස කපා දැම්මේය. මේ හේතුව නිසා මෙන්ම ශිව දෙවියන්ගේ දිවි සමක් හැඳ සිටින, මිනී අළු ගාගත් ස්වරූපය නිසාම ප්‍රජාපතී රජු ශිව දෙවියන්ට අකමැති විය. ශිව දෙවියන් සමඟ ප්‍රේමයෙන් බැඳුණු සතී තම පියාගේ විරුද්ධත්වය ද නොසළකා මහාදේව සමඟ විවාහ වූවාය. ඉන්පසුව දෙදෙනාම් හිමාලයේ කෛලාශකූඨයට ගොස් සතුටින් දිවි ගෙවීම ආරම්භ කරන ලදී.
ටික කාලයක් ගත වෙද්දී ප්‍රජාපතී රජතුමා මහා පූජාවක් සංවිධානය කළ අතර මේ සඳහා තම දියණිය වූ සතීටවත් ඇගේ ස්වාමිපුර්ෂයාටවත් හිතාමතාම ආරාධනා නොකළේය. නමුත් සතී සිතුවේ එය තම පියා අමතකවීමෙන් සිදුකළ අත්වැරදීමක් ලෙසය. ශිවගෙන් බොහොම අසීරුවෙන් ලබාගත් අවසරය ද සමඟින් ඇය මේ පූජාව සඳහා ගිය නමුත් ප්‍රජාපති ඇතුළු අනෙක් අය ඇයව සතුටෙන් පිළිගත්තේ නැත. එපමණක්ද නොව ඇයට බොහෝ අවමාන කිරීම් ද දරාගැනීමට සිදුවිය. මේවා ඉවසාගත නොහැකිව ඇය තම ශරීරයට ගිනි තබාගෙන මරණයට පත් වූවාය.
තම ආදරණීය බිරිඳගේ මරණය දරාගත නොහැකි වුණු ශිව දෙවි ඇගේ අප්‍රාණික ශරීරය වැළඳගෙන හඬමින් සහ නටමින් ශෝක වූවේය. මේ නිසාම විෂ්ණු දෙවියන් සතීගේ ශරීරය කැබලි කිහිපයකට කපා ඇත. ඒ කොටස් වැටුණු තැන්වල දේවාල ඉදි කරන ලදී. ඉන්පසුව ශිව දෙවියන් යම්තාක් දුරකට සන්සුන් වූ නමුත් ශිව දෙවියන් තමන්ගේම එක් ස්වරූපයක් වූ “කාල් භෛරව” ස්වරූපයෙන් ගොස් ප්රජාපතීගේ හිස ශරීරයෙන් වෙන් වන පරිදි කපා දැම්මේය.
නමුත් ප්රජාපතීගේ බිරිඳ සහ අනෙක් දූවරුන්ගේ ඇවටිල්ල නිසා යළිත් ඔහුට අනුකම්පා කළ ශිව දෙවියන් ප්‍රජාපතීට එළුවෙකුගේ ඔළුවක් බද්ධ කළේය. අදටත් ප්‍රජාපතීව නිරූපණය කරන්නේ එළුවෙකුගේ ඔළුවක් ඇති පරිද්දෙනි. සියලු දේ පිළිබඳව කලකිරුණු ශිව දෙවියන් යළිත් හිමාලයට ගොස් භාවනා කිරීම ආරම්භ කළේය.
කාලයක් ගත වෙද්දී මියගිය සතී හිමාලය කඳුවැටියට අධිපතිගේ දියණිය පාර්වතී නොහොත් උමා ලෙස උපත ලැබුවාය. ඇය වයසින් වැඩෙත්ම හිමාල කඳුවැටියේ භාවනායෝගීව සිටින තපසෙකුගේ උවටැන් කිරීම සඳහා යවන ලදී. මේ තවුසා ශිව දෙවියන් වුණු අතර පාර්වතී දේවියට නිරායාසයෙන්ම ශිව දෙවියන් කෙරෙහි ප්‍රේමයක් හටගැනුණේය. ඇය ශිව දෙවියන් ප්‍රාර්ථනා කරමින් බොහෝ භක්තියකින් යුතුව භාවනා කළ අතර අවසානයේ ශිව දෙවියන්ගේ භාවනාව ද නිම විය.

මෙවර නම් පාර්වතියගේ දෙමව්පියන්ගේ කිසිම අකමැත්තක් යුවළට නොවිණි. පාර්වතී සහ ශිව දෙවියන් විවාහ වීමෙන් අනතුරුව යළිත් කෛලාශකූඨකයට පැමිණියෝය. මෙය “ශිව ඝන” නොහොත් ගවයන්, යක්ෂයන්, දෙවියන්, භූතයන් ඇතුළු ශිව දෙවියන්ගේ පිරිස ප්‍රීති වෙමින් නටමින් සැමරුවෝය. මෙය ශිව රාත්‍රියයි.
ශිව රාත්‍රී දිනයේදී සිදු කළ යුතු වත් පිළිවෙත් රැසක් ඇත. මේ දිනයේ හිමිදිරියේම අවදි වීම යහපත් ය. ස්නානය කර පවිත්‍ර වීම කළ යුතුය. ඉන්පසුව උපවාස කිරීම ආරම්භ වෙයි. මේ අතරතුර පලතුරු, කිරි, සහ ඇට වර්ග පමණක් ආහාරයට ගනියි. නිවෙස් සහ දේවාල බෙලි කොළ, මල් සහ පහන් දල්වා සරසයි.

ශිව රාත්‍රියේ ප්‍රධානම චාරිත්‍රය වන්නේ “අභිෂේකම්” එනම් ශිව ලිංගය ස්නානය කරවීමේ චාරිත්‍රයයි. ජලය, කිරි, මීපැණි සහ යෝගට් සහ බෙලි කොළත් පලතුරුත් සමඟ මෙම චාරිත්‍රය සිදුවේ.
බැතිමත්තු මහත් වූ භක්තියකින් යුතුව ශිව දෙවියන් වන්දනා කරන මන්ත්‍රය (ඕම් නමහ් ශිවාය) ගායනා කර ශිව පුරාණයේ ගීතිකා කියති.
බැතිමත්තු “ජාගරත්” එනම් රාත්‍රිය අවදියෙන් සිටීම ද සිදු කරයි. ශිව රාත්‍රියේ දී අවදියෙන් සිටියහොත් මහාදේව මුළු ජීවිත කාලයම ඔවුන්ව ආරක්ෂා කරන වගට ද සතුට සහ දියුණුව ලබා දෙන වගට ද බැතිමතුන් විස්වාස කරයි.
මේ ශිව බැතිමතුන් නිරාහාරව සිටීම අවසන් කරන්නේ ඉතා සරල ආහාර වේලක් අනුභව කිරීමෙනි.
ශිව පූජාවේ වැදගත්ම අංග හයක් ඇතුළත් වන අතර ඒවා සියල්ලටම වෙන්වූ අර්ථයන් ද තිබේ.
- බෙලි කොළ පූජා කර ශිව ලිංගය ජලයෙන් සහ කිරි වලින් ස්නානය කරවීම – ආත්මයේ පිරිසිදු බව පෙන්නුම් කරයි
- ස්නානය කරවීමෙන් පසු වමිලියන් (vermilion) ඉසීම – ගුණය පෙන්නුම් කරයි.
- පලතුරු පිළිගැන්වීම – ආශාවන් ඉටුවීම සහ දීර්ඝායුෂ නිරූපනය කරයි.
- හඳුන්කූරු දැල්වීම – ධනය නිරූපනය කරයි
- බුලත් කොළ තැබීම – ලෞකික ආශාවන්ගෙන් ලැබෙන තෘප්තිය පෙන්වා දෙයි.
- පහන් දැල්වීම – ප්‍රඥාව සහ දැනුම සංකේතවත් කරයි.
සර්වබලධාරී දෙවිඳුන් වන ශිව දෙවියන්ගේ බැතිමතුන් මහා ශ්‍රද්ධාවකින් සමරන මහා ශිව රාත්‍රී දිනය වසරේ ඉතාමත් පෞරාණික සහ බලගතු දිනයකි.


