නික්කි රණසිංහ, විලේගොඩ
මළානිකව ගලායන ජීවිතය එක්තරා දිනකදී හිසට, මනසට සහ දෑතට දරාගෙන සිටිය නොහැකි තරම් බර වන දිනක් පැමිණේ. එවිට සියල්ලම නිශ්ඵල සහ අවර්ණ ය. ඇඟිලි තුඩකින් තමාවම ස්පර්ශ කළ වහාම අභ්‍යන්තර ආත්මය බිඳී යන සුළුය.
එවන් මොහොතක දරුණු ලෙස පීඩාකාරී වන කඩතොළු සුව කළ හැකි වෛද්‍යවරයා වන්නේ සදාකාලයටම සන්සුන් ස්වභාවධර්මයා ය. සීතාවක අවට අයෙකුට නම් එය ඉතාම පහසු තීරණයකි. ඒ සීතාවක උද්භිත උද්‍යානය පිහිටා ඇත්තේ එහි බැවිනි.
සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය 2014 වසරේ අන්තිම කාර්තුවට වන්නට විවෘත කරන ලදී. මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 43 ( අක්කර 106 ) ක් පමණ වේ. මෙහි පැමිණීමට නම් අවිස්සාවේල්ල නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරකින් ඇති ඉලුක්ඕවිට නම් ග්‍රාමීය ප්‍රදේශය දක්වා පැමිණිය යුතුය. ඒ එන මාර්ගයද ගැඹුරින් හුස්ම ගත හැකි සන්සුන් වාතාශ්‍රය සහිත ගම්බද මාර්ගයකි.
තවමත් බොහෝ දෙනෙකු නොදැන සිටියත් මේ ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු තෙත් කලාපීය උද්භිත උද්‍යානයයි. මෙය පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ දැනට තර්ජනයට ලක්වී ඇති තෙත් කලාපීය වනාන්තර වල පැළවෙන ගස්වැල් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම එනම් “විතැන් ශාක සංරක්ෂණය” සඳහා වන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන තෙත් කලාපීය භූ දර්ශන වැඩිදියුණු කිරීමේ ආදර්ශයක් ලෙස ද වැදගත් වනු ඇත.
උද්‍යානයේ පහළ කොටස විශාල ජල පොකුණකින් සමන්විත වේ. එහි දියරැළි වීදුරුවලින් තැනුවාක් මෙන් පැහැදිලිය. රන්වන් දියරයක් මෙන් වැටෙන හිරු එළිය පොකුණේ ඇති කොළ පැහැයට හුරු නිල්වන් දියරැළි අහස වෙතම නැවත හරවා යවයි.
ඒ අවට සම්පූර්ණයෙන්ම තණකොළ වවා ඇත. හිරවී ඇති පාවහන් ගලවා පාදයේ සමට තණපඳුරුවල ඇති උල් සහිත මුදුන් ඇනෙන්නට දීම ඉතාම ප්‍රීතිමත් ක්‍රියාවකි. තණපඳුරු තද කොළ පැහැයෙන් මෘදු සම මත නොරිදවන සුළු රිදුමක් ඇති කරයි. ඒ සමඟම පොකුණේ ජල තලය මත ඇතිල්ලීගෙන එන සුළඟ මුහුණට වැදෙනු ඇත. අහසෙන් පෙරණ සුවදායී ලෙස උණුසුම් හිරු කිරණ ඇඳුමෙන් නිරාවරණය වී ඇති තැන් මෙන්ම මනසේ සිරවී ඇති විඩාව ද උණුසුම් ලෙස පුළුස්සා දමයි.
මේ පොකුණ මත හංස බෝට්ටු පැදීමටද හැකියාවක් ඇත. කුඩා මුදලක් ගෙවා ලබා ගත හැකි බෝට්ටු සැබෑම හංසයන් මෙන් කුඩා, රවුම් සහ ධවල පැහැතිය. ජීවිතාරක්ෂක ජැකට්ටුවක් ද ලබා දී, උද්‍යානයේ සේවය කරන නිලධාරියෙකු හෝ දෙදෙනෙකු සෑම තත්පරයකම විමසිල්ලෙන් බලාගෙන සිටින බැවින් අනතුරක් පිළිබඳව සුළු හෝ බියක්ද නැත. කළ යුත්තේ සීතල ජල තලය මතින් හංසයන් පිහිනාගෙන යනවාක් මෙන් බෝට්ටුව පැදගෙන යාම පමණි.
උද්‍යානයේ පරිසර කලාප මීවන උයන, තර්ජිත ශාක එකතුව, මුදුන් උයන, කුඹුක රුක් උයන, තාල ශාක එකතුව යනාදියෙන් කොටස් වලට බෙදා ලකුණු කර ඇත. සියල්ලම ඉතාම පිළිවෙළය. මනසට ග්‍රහණය කරගැනීමට අතිශය පහසු වන තරම් නිරවුල් ය.
මෙහි දුර්ලභ වෛද්‍ය උද්භිත ශාක වර්ග ගණනාවක් ද ඇත. ඒත් සමඟම ඕකිඩ් වර්ග කිහිපයක් ඇතුළු මල් වර්ග ගණනාවක්ම දැකබලා ගත හැක. ඒවා සැබෑවටම මෙලොව ඇති වර්ණ වලින් සමන්විතදැයි විස්වාස කළ නොහැකි තරම් අලංකාරය. මුළු උද්‍යානයම සැලසුම් කර නිමවා ඇත්තේ ස්වභාවික වනාන්තර සහ වගා කළ භූමි ප්‍රදේශ බොහොම හිතකාමී ලෙස එකට එකතු වන ලෙසයි.
උද්‍යානයේ ඉහළ කොටසට යන්නට තෙත් කලාපීය වනාන්තරවල ලක්ෂණ තව තවත් හොඳින් පැහැදිලි වේ. ගස් විශාල සහ මහත් වන අතර තණ පඳුරු මනාව නඩත්තු කර ඇත. යා යුතු මාර්ගය පවා පිරිසිදුය. දුඹුරු පැහැති මහත ගස් කඳන්, දීප්තිමත් හිරු එළිය නිසා විනිවිද පෙනෙන පත්‍ර, ගස් මත ඇඹරුණු විශකුරු සර්පයන් මෙන් එතී ඇති මුල් නිසා එය ත්‍රාස්‍යජනක සිනමාපටයක වනාන්තරයක් මැදින් යන්නාක් බඳු ගමනකි. නමුත් සියල්ලම සන්සුන් සහ ප්‍රීතිමත් ය. ක්‍රියාශීලී ඇවිදීම සෞඛ්‍යයට ද හිතකාමී ය.
උඩට නගින අතර මඟ කුඩා නැරඹුම් ස්ථානයක්ද හමුවේ. එහි සිට බලද්දී පහළ ඇති නිල්, කොළ පැහැති ජල තලය ද, කොළ පැහැති පත්‍ර පිරුණු විශාල ගස් ද, හීනී තණ පඳුරු ද, ඈතින් walpota heta නමින් හඳුන්වන කඳු පන්ති කිහිපයක්ද පෙනෙයි. අළු පැහැති මීදුම් පටලයකින් වැසී ඇති ඒවා අහස දරා සිටින අතරතුර පොළොව මත සිටගෙන සිටිතැයි ග්‍රීක මිත්‍යා වල සඳහන් ඇට්ලස් යෝධයා වැනිය. එහි සිට දර්ශන නැරඹීම, සිතට මිහිරි ලෙස බියජනක නමුත් මින්ට් රසකින් යුත් රහසක් මෙන් හැඟීමක් ගෙන දෙයි.
මෙහි නොයෙක් වර්ග වල කුරුල්ලෝ ද වාසය කරති. ඔවුන්ගේ නොනවතින මිහිරි ගී ගායනා උද්‍යානය පුරාවටම විසිරී යයි. ඉතින් ගුප්ත නිහඬතාවයක් ද මෙහි නැත. මුළු පරිසරයම සජීවී සහ උද්‍යෝගිමත් ය.
මේ උද්‍යානය පුරාවටම වාඩි වී සිටිය හැකි කුඩා බංකු ඇත. කෑම බීම මිලදී ගත හැකි කුඩා කුටියක් උද්‍යානයේ පහළ කොටසේ පිහිටා තිබුණත් පිටතින් ආහාර රැගෙන ඒමටද කිසිදු බාධාවක් නැත. තණ පඳුරු මත රෙදිකඩක් එළාගෙන, හිරු එළිය හුස්ම ගන්නා අතරතුර, ප්‍රණීත ආහාර ගැනීමට නම් මේ උද්‍යානය අතිශය සුදුසු ස්ථානයකි.
කුඩා උපන් දින සාද පැවැත්වීමට, පවුලේ සියළු දෙනාටම වෙනසක් සඳහා පැමිණීමට, මිතුරන් කිහිප දෙනෙකුට යළි හමුවීමක් කිරීමට මෙහි ඕනෑ තරම් ඉඩකඩ, නැවුම් වාතාශ්‍රය සහ උණුසුම් හිරු එළිය ඇත. කළ යුත්තේ ගේට්ටුවෙන් ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන පැමිණීම පමණි.
මෙහි ඡායාරූප ගැනීමටද ඉඩ සලසා දී ඇත. ඒ සඳහා නම් ඊට පෙර දින වෙන් කරවාගත යුතුය. මුළු උද්‍යානයම සුරංගනා කතාවක ඇති මායාත්මක සුන්දරත්වයක් උසුලන බැවින් ඒ බලාසිටීමට කිසිඳු නිශ්ඵල වැයවීමක් සිදු නොවේ.
උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට පස්වරු 6 දක්වා විවෘතව ඇත. නමුත් ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ සවස 5 වන තෙක් පමණි. නීතිරීති අනුව ගේට්ටුවෙන් ඇතුළට මත්පැන්, සංගීත භාණ්ඩ ආදිය ගෙන ඒමට තහනම්ය. ඒ උද්‍යානයේ ඇති සන්සුන්, සාමකාමී සහ දරුණු ලෙස ආකර්ශණීය හරිත පරිසරයට කිසිදු හානියක් නොවනු පිණිසය.
උද්‍යානය ඉතාම පරිස්සමෙන් නඩත්තු කරන්නේය. සියල්ලම ඉතාම පිළිවෙල සහ පිරිසිදුය. ඉතින් මෙහි යන්නන්ද තම මනසෙහි ඇති අඳුරු සිතුවිලි මිස වෙන කිසිවක් මේ පරිසරය තුළ ඉතිරි කර ඒම නොකළ යුතුය. ගෙන එන සැන්ඩ්විච් පෙති දැමූ පොලිතීන් කවරයද, විඩාව නිවා ගත් ප්ලාස්ටික් බීම බෝතලය ද ඒ ලෙසින්ම ගමන් මල්ල තුළ දමාගෙන ඒම පමණක් නිවැරදිය.
උදෑසන හෝ සැන්දෑ කාලය මෙහි පැමිණීමට වඩාත්ම උචිතය. උදෑසන නම් කහ පැහැය සහ කොළ පැහැයෙන් නිර්මාණය වී ඇතැයි පෙනෙන මේ උද්‍යානය සවස් කාලයට මී පැණි මෙන් රන් පැහැයෙන් සහ තැඹිලි රතු පැහැයෙන් නිර්මාණය වී ඇතැයි දැනේ. ස්වභාවධර්මයා යනු දිව්‍යමය ත්‍යාගයක් වන අතර එය දෑතින්ම වැළඳගෙන සුරැකීම අප සතු දරුණුතම යුතුකමකි.


