වෛද්‍ය ශාෆිගේ දියණිය පියාට නැගූ චෝදනාවලට නිසි පිළිතුරු දෙයි.

චම්පිකා මුතුකුඩ

බලය වෙනුවෙන් ඕනෑම අයකුගේ ගෙල කැපීමට සූදානම් ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතියක ගොදුරක් බවට පත්ව  වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක්වූ වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ගේ වැඩිමහලු දියණිය, 2024 උසස් පෙළ විභාගය විශිෂ්ට  අන්දමින් සමත් වී තිබේ.

2019 වසරේදී වෛද්‍ය  ශාෆිට එල්ල වූ චෝදනා හා දේශමාමක යැයි කියාගන්නා පාර්ශ්ව විසින් වෛද්‍ය ශාෆිගේ පවුලට එල්ල කරන ලද දැඩි මානසික පීඩනය හමුවේ හමුවේ ශාෆිගේ වැඩිමහල් දියණියට පාසල හැරයාමට සිදුවිය.ඒවන විට නව වන ශ්‍රේණියේ ඉගෙනුම  ලත් ඇය නොපසු බස්නා වීර්යයෙන්  සිය ඉගෙනුම් කටයුතු මග නොහැර සිදු කළාය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස විද්‍යා විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුනක් ලබා  දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් වල දොළොස්වන ස්ථානයත් , දිවයිනේ 357 වන ස්ථානයත් ලබා ගනිමින් රජයේ වෛද්‍ය පීඨයකට සුදුසුකම් ලැබුවාය.

ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන්ද  A  සාමාර්ථක් 9ක් ලබා විශිෂ්ට ලෙස සමත් වූවාය.

වෛද්‍ය සාෆිගේ දියණියට  ඉගැන්වූ බණ්ඩාර තිලකරත්න නමැති ගුරුවරයා  විසින් සිය ෆේස්බුක් ගිණුමේ අතිශය සංවේදී සටහනක් තබා තිබුණි.

“……මගේ හදවතට වැඩියෙන් ම දැනුණේ මේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන ලද වෛද්‍යවරයාගේ වැඩි මහලු දියණිය එවකට මා සේවය කළ මලියදේව බාලිකාවේ ශිෂ්‍යාවක ලෙස අසරණ වූ අවස්ථාවේ දී ය. මා ඒ පිළිබඳ මුහුණු පොතේ ලියා ඇත. සෙයිනබ් ෂාෆි. නවය වසරේ ඉගෙන ගනිමින් සිටියා ය. තම පියාණන් නොකළ වරදකට සිරගත වෙද්දී ඇය මලියදේව බාලිකාවෙන් සදහට ම පිටව ගිය අයුරු මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවේ. ඉන් පසු ඇය ගත කර තිබුණේ අතිශය වේදනා කාරී ජීවිතයකි. එහෙත් ඒ සියලු බාධක මැද ඇය අධ්‍යාපනය ජය ගත්තා ය. සාමාන්‍යපෙළ විභාගය 9A සහිත ව සමත් වූවා ය. ඇය සමත් වූ බව සමාජ මාධ්‍යයෙන් දුටු මම අසීමිත සතුටකට පත් වුණෙමි.
“මම තාත්තාට වඩා හොඳ වෛද්‍ය වරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝට ම ප්‍රතිකාර කරනවා…”
ඇය සාමාන්‍යපෙළ ප්‍රතිඵලයෙන් පසු ව අධිෂ්ඨානශීලී ව පැවසුවා ය. අද නැවත ඇගේ හඬ මගේ දෙසවනට ආවේ උසස් පෙළ ප්‍රතිඵල සමගයි.
“සර්, මම ෂෙයිනබ්. සර්ට ප්‍රතිඵල කියන්න කතා කළේ. දිස්ත්‍රික් රෑන්ක් එක 12. මෙඩිසින් යන්න පුළුවන්…”
දියණියනි, ඔබ දිරිය දියණියකි. ඔබටත් ඔබේ පවුලටත් සමාජයෙන් හුදෙකලා කොට වෛරය මුදා හළ සමාජයට ඔබ ඉලක්කයට ම පහර දී ඇත. මේ රෝගී වූ සමාජය සුවපත් කරන්නට ඔබට නැණ ගුණ සමග යෝධ බල යෝධ වීරිය ලැබේවා…

ෂෙයිනබ් ශාෆි, ඈත්මාර්ථකාමී මිනිසුන්ට නිසි පිළිතුරු ලබා දුන් ඔබ මුළු මහත් ශ්‍රී ලාංකික දියණිවරුන්ට පරමාදර්ශයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *