කිත්සිරි වනසිංහ
පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණු අද( 10) දිවයිනේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී මළුව සහ රුවන්වැලි මහා සෑ පුදබිම ඇතුළු අටමස්ථානයට අයත් සියලු වෙහෙර විහාරස්ථාන පිරී පැවතුණි.
මහමෙව්නා පුදබිම අතුරු සිදුරු නොමැතිව සීල සමාදානයේ යෙදුණ බැතිමතුන්ගෙන් පිරී යද්දී දසත ඇසෙන සාධුනාදයෙන් මහමෙව්නාව ඒකාලෝකමත් විය.හේවිසි බෙර හඬින් මහමෙව්නාව ගිගුම් දෙද්දී බෞද්ධ ධජ පතාකයන්ගෙන් සැරසිලි කර තිබූ මහමෙව්නා පුදබිම එහි පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්නට සමත් විය.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව මහමෙව්නා පුදබිම තුළ සීල සමාදානයේ නිරත වූ උවැසි උවැසියන් 25000ක් දෙනා සඳහා උදෑසන දානය පිරිනැමීම මහජන බැංකුව හා පීපල්ස් ලීසින් සමාගම එක්ව සිදුකෙරුණි. peoples leasing සමාගම 19 වරටත් සංවිධානය කළ මෙම මා හැඟී කටයුත්තේදී බැතිමතුන් විසි පන්දහසක් සඳහා පානීය ජල බෝතල් ලබාදීම ද උදෑසන දානමය පින්කමට සමගාමීව සිදු කෙරුණි.
එම සමාගමේ සභාපති අජන්ත සමරකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර සාමාන්‍යාධිකාරී ගනේෂ් තුෂාන්තන් , ප්‍රාදේශීය කළමනාකරු දිනේෂ් විල්ආරච්චිගේ , අනුරාධපුර ශාකා කළමනාකරු සාරංග දිසානායක , මැදවච්චිය හා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශීය ශාකා කළමනාකාරවරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම කටයුත්ත සඳහා සහභාගි වී සිටියහ.
එමෙන්ම රුවන්වැලී චෛත්‍යරාමාධිපති ඊතල්වැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත රුවන්වැලි මහා සෑ පුදබිම මුල් කරගෙනද විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.



