අජිත්ලාල් ශාන්තඋදය

මේ දිනවල පවතින තද පැවුම හේතුවෙන් කුඩා සහ මහ පරිමාන තේ වගාවල දලු අස්වනු සීග්‍රලෙස පහත වැටී ඇතැයි තේවතු හිමියන් මෙන්ම තේ කම්හල් හිමියෝ ද පවසති.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ තේ කර්මාන්තයයි. ලංකාවේ මධ්‍යම කඳුකරයේ පවත්නා ආර්ද්‍රතාව, සිසිල් උෂ්ණත්වය, සහ වර්ෂාපතනය උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනයට අවශ්‍ය හිතකර දේශගුණය සපයයි. අනෙක් අතට, මාතර, ගාල්ල, රත්නපුර වැනි ප්‍රදේශවල පවතින ඉහළ උෂ්ණත්වය සහ ඉහළ වර්ෂාපතනය යටතේ නිෂ්පාදනය කෙරෙන තේවල ඉහළ කහට රසයක් පවතී.
එහෙත් පවතින වියළි කාලගුණය තේ ගස්වල දලු හටගැනීමට විශාල ලෙස බලපා ඇත. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය, ඌව පළාතේ බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ, දකුණු පළාතේ ගාල්ල, මාතර, මුල්කිරිගල සහ සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන ප්‍රදේශ ප්‍රධාන තේ වගා ප්‍රදේශ ලෙස හඳුනාගත හැකි ය.
ඊසාන දිග මෝසම අවසන්ව නිරිතදිග මෝසම ආරම්භවන තෙක් පවතින අන්තර් මෝසම් කාලය සමහර අවුරුදුවල අධික වියළි කාලගුණයක් පවතී. 2025 වර්ෂයේද එවැනි වියළි කාලගුණයක් ඇතිව තිබෙන බව තේ වගාකරුවෝ පවසති.
මේ වනවිට ලෝකයේ තේ නිෂ්පාදනයෙන් ශ්‍රීලංකාව පත්ව ඇත්තේ හතරවන ස්ථානයටය. තොග තේ, තේ පැකට්, මලු තේ, ක්ෂණික තේ ආදී ලෙස විවිධ අගය කිරිම් අනුව ලංකාව තේ අපනයනය කරනු ලබයි. අරිම්බු, තිරය සහ පත්‍රදෙක සහිත දලු, තිරය සහ නොමේරූ පත්‍ර තුනක් සහිත දලු, ළපටි වංගි දලු සහ ළපටි තනි පත්‍ර වඩාත් ගුණාත්මක තේ නිෂ්පාදනය සදහා යොදාගනී. පවතින වියළි කාලගුණය මේ ආකාරයේ දලු නිපදවීමට තදින් බලපාන බව ද වගාකරුවෝ කියති.
දලු නෙලීම සහ දලු ඇසිරීම ක්ෂේත්‍ර අංශයට අයත් ක්‍රියාවලියකි. දලු එකතු කිරිම හා ප්‍රවාහනය කිරිම ප්‍රවාහන අංශයට අයත්ය. දලු මැලවීම, තේ දලු ඇඹරීම, තේ වර්ග කිරීම, වියළීම සහ ඇසුරු කිරිම කර්මාන්තශාලා අංශයට අයත්ය.
මීට විසි වසරකට පෙර ලෝකයේ වැඩිම තේ ප්‍රමාණයක් අපනයනය කළ රට වුයේද ශ්‍රීලංකාවයි. වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතුන හොත් අමු තේදලු නිෂ්පාදනය සීග්‍ර ලෙස පහළ වැටෙනු ඇතැයි තේ වගාකරුවෝ පවසති. තේ කර්මාන්තශාලා හිමියන් පවසන්නේ එසේ වුවහොත් තම කම්හල්වල දෛනික තේ නිෂ්පාදනය ද සිග්‍රලෙස පහත වැටෙනු ඇති බවයි.
ඒ අනුව තේ ක්ෂේත්‍රයේ විවිධ රැකියාවල නිරතවූවන්ගේ ජීවනෝපායට වියළි කාලගුණය විශාල බලපැමක් ඇති කරනු ඇත.
