විදේශ රැකියා මුවාවෙන් කළ වංචා දූෂණ රැසක් හෙළිවෙයි – යෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

මොහොමඩ් ආසික්

විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් පසුගිය කාලයේ සිදු කළ වංචා දූෂණ රැසක් මේ වන විට හෙළි වෙමින් පවතින බව  විදේශ කටයුතු සහ විදේශ  රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කීය.

 ඒ මහතා එම අදහස් පළ කළේ අද 22 වනදා පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ වැඩසටහනක් අමතමිනි.

විදේශ රැකියාවල නියුක්ත වූවන්ගේ දරු දැරියන් සඳහා පාසැල්  උපකරණ ලබා දීමත් , විදෙස් රැකියාවල නියුක්ව සිට පැමිණි පිරිස් සඳහා  ස්වයං රැකියා  සඳහා ආධාර ලබා දීමත්  මෙහිදී සිදු විය. සිසුන් 296 ක් සඳහා  පාසැල් උපකරණ ලබා දීම මෙහිදී සිදු විය.මෙයට අමතරව විදෙස් රැකියා ආයතනවල සහභාගිත්වයෙන් විදේශ රැකියා පොළක්ද මෙහිදී පැවැත්විණ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙසේද කීය.

විදේශ රැකියා සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදු වුන  වංචා දූෂණ රැසක් පරික්ෂණවලින් මේ වන විට හෙළි වෙමින්  තිබෙනවා.අද අපි මේ සිදු කරන්නේ විදේශ රැකියාවල නියුක්ත අයගේ දරුවන්ට  පාසැල් උපකරණ ලබා දීමත් ස්වයංරැකියා සඳහා උපකාර කිරීමත්. නමුත් පසුගිය කාලයේ මිට වඩා දේවල් ලැබෙන්න තියෙද්දීත් ඒවා හිමි අයට නොලැබී වෙනත් අයට ලැබුණ කියලත් මේ වන විට හෙළි වෙමින් තිබෙනවා. විදුලි වාහන සම්බන්ධයෙන් සිදුව ඇති වංචා දූෂණ ප්‍රමාණයක් හෙළි වෙමින් තිබෙනවා.විදේශ ශ්‍රමික නොවන අයටත් ඒ බලපත්‍ර ලබා දීල තියෙනවා කියන කාරණය දැන් මතු වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ අවිධිමත් ලෙස අත්සන් කර ඇති සමහර ගිවිසුම් හරහා රටක් විදිහට අපි සෑහෙන අපහසුතාවයන්ට මුහුණ දුන්න සහ තවමත් මුහුණ දෙන අවස්ථාත් තියෙනවා. රැකියා අවස්ථාවන් ලැබෙන කොටත් ඒ සඳහා තේරීම් කිරීමේදීත් සමස්ත දේශපාලනයේම මැදිහත් වීම් තිබුණ කියන විවේචනයත් තියෙනවා.ඇතැම් විදේශ නියෝජිත ආයතන පවා අපට කියනවා මෙතැන විශාල අකටයුතුකම සිදු වෙලා තියෙන නිසා සමස්ත ලැයිස්තුවම අවලංගු කරන්න කියලා. මේ සියල්ල විනිවිදභාවයෙන් යුක්තව වෙනස් කරන්න අපි පටන් ගෙන තියෙනවා.අලුත් රජයක් හැටියට මේ විනිවිද භාවය රැක ගන්න අපි උපරිමයෙන් කටයුතු කරනවාය කියන පොරොන්දුවත් ලබා දෙන්න කැමැතියි.යැයිද අමාත්‍ය වරයා මෙහිදී  කීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති  කෝසල වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *