මොහොමඩ් ආසික්

1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජයේ විවෘත ආර්ථික ප්රතිපත්තියත් සමඟ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා විදේශ රටවල රැකියා දොරටු විවෘත විය. එතෙක් ප්රභූන්ට පමණක් සීමාවී තිබූ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය සාමාන්‍ය පුද්ගලයින්ටද කිසිදු බාධාවකින් තොරව ලබා ගැනීමේ හැකියාව එතැන් පටන් ජනතාවට හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා රටවලට අපේ තරුණ තරුණියන්ගේ සේවාවන් ලබා ගැනීමට ද අවස්ථාව ලැබිණි. පසුකාලීනව අපේ රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙසද මෙම විදෙස් රැකියා වෙළඳපොළ පත්විය.අදත් එය ඒ අයුරින්ම පවතී.
රටට විදේශ විනිමය බිලියන ගණනින් ගෙන එන රැකියා ඉල්ලමක් වුවද විදේශ රැකියාව තුළ පවතින අවදානම් තත්වයන්ද රැසක් තිබේ. ඇතැම් අවස්ථාවන්වල එම අවදානම් තත්වයන් නොසලකා හැර ඇති ආකාරයක්ද නිරික්ෂණය වෙයි . පළමුව තම දරු පවුල මෙන්ම ළඟම ඥාතීන් අතහැර දුරු රටකට ගොස් වසර ගණනක් රැකියා කළ යුතු වීම, මෙරට සිටියදී අසල නගරයකටවත් තනිවම නොයැවු තම තරුණ දියණියන් විදෙස් රටවල නොහඳුනන පුද්ගලයින් විශ්වාස කර වසර ගණනකට යැවීම, එහිදී කාන්තා පිරිමි දෙපාර්ශවයටම සිදු වන හිරිහැර පීඩාවන් මෙන්ම කාන්තාවන්ට සිදු වන ලිංගික අතවරයන් මෙකී නොකී තාඩන පීඩන රැසකට එදා පටන් අද දක්වාම මේ රට විරුවෝ මුහුණ දී සිටිති. තත්වය එසේ වුවත් විදෙස් ගත වන ශ්‍රමිකයින්ගේ ද දිනෙන් දින ඉහළ යනවා මිස අඩු වීමක් දක්නට නොලැබෙයි.
2020 දී ලොව පුරා ඇති වූ කොරෝනා වසංගතයත් පසුව අප රටේ ඇති වූ ආර්ථික අර්බුදයත් නිසා විදේශ ගතවන පිරිසේ සීග්‍ර වැඩි වීමක්ද දක්නට ලැබෙයි. තරුණ තරුණියන් විදෙස් ගත කිරිම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කරනු ලබන අතර දිවයින පුරා විදෙස් රැකියා පොළ පැවැත්වීම පුහුණු වැඩමුළු පැවැත්වීම , විදෙස් රැකියා ගමට ගෙන යාමත් ඉන් වැඩපිළිවෙළවල් කිහිපයකි . මෙවත් තත්වයන් හමුවේ 2024 වසරේදී විදෙස් ගත ව ඇති ශ්‍රමිකයින් සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා ගත් තොරතුරු අනුව විමසා බැලීමකි මේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු නිලධාරි පී.ජී වීරසේකර මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසරේදී රටවල් 157 කට ශ්‍රී ලාංකික පුරවැසියන් 3,14,771 දෙනෙකු කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී තිබේ. ඒ අතර පිරිමි පුද්ගලයින් 1,86,675 දෙනෙක්ද කාන්තාවන් 1,28,096 දෙනෙක්ද ඇතුළත් වෙති.

2024 වසරේදී රැකියා සඳහා විදෙස් ගත වී ඇති ශ්‍රමිකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් විදෙස් ගතව ඇත්තේ කුවේට් රටට වන අතර එම ප්‍රමාණය 77,914 කි. දෙවැනියට වැඩිම ප්‍රමාණයක් විදෙස් ගතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටය.එම ප්‍රමාණය 52,070 කි. තෙවැනියට සවුදි අරාබිය වන අතර එහි ගොස් ඇති ශ්‍රමිකයින් ගණන 48,001 දෙනෙකි. සිව් වන ස්ථානයේ පවතින්නේ කටාර් රාජ්‍යය යි. එහි ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගණන 46,642 කි. එයට අමතරව මාලදිවයිනට 12,293 ක් රුමේනියාවට 10,506 ක් ඊශ්‍රාලයට 10,181 ක් ජපානයට 8,745 ක් ඕමානයට පුද්ගලයින් 8,454 ක් දකුණු කොරියාවට පුද්ගලයින් 7,123 ක් ජෝර්දානයට පුද්ගලයින් 4,910 ක් බහරේන් 4,037 ක් සයිප්‍රස් සඳහා ශ්‍රමිකයින් 3,575 ක් එක්සත් රාජධානිය සඳහා පුද්ගලයින් 3,283 ක් සිංගප්පූරුව සඳහා පුද්ගලයින් 2,593 ක් මැලේසියාව සඳහා පුද්ගලයින් 2,092 ක් සීෂෙල්ස් රාජ්‍යය සඳහා පුද්ගලයින් 1,309 ක් ලෙබනනය සඳහා ශ්‍රමිකයින් 1,245 ක් සර්බියාව සඳහා ශ්‍රමිකයින් 1,244 ක් සහ රුසියාව සඳහා ශ්‍රමිකයින් 1,129 ක්ද වශයෙන් 2024 වසරේදී විදෙස් රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කර තිබේ. එයට අමතරව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, තුර්කිය, බංගලාදේශය, හොංකොං යන රටවල් සඳහා 1000 ත් 500 ත් අතර ප්‍රමාණයක්ද ඉරාකය, කැනඩාව, අයර්ලන්ත,ය මුරුසිය ,මෝල්ටාව, ලිතුවේනියාව ,ඉන්දියාව, පැපුවා නිව්ගිනියාව, ෆීජි, බල්ගේරියාව, පෝලන්තය, වියට්නාමය සහ ඉතියෝපියාව යන රටවලට ශ්‍රමිකයින් එක් රටකට 500 ත් 100 ත් අතර ප්‍රමාණයක්ද යොමු කර තිබේ. ඉතිරි රටවල් 119 කටම යවා ඇත්තේ එක් රටකට ශ්‍රමිකයින් 100 කටත් වඩා අඩු ප්රමාණයකි. එයින් රටවල් 19 කටම ගොස් ඇත්තේ එක් ශ්‍රමිකයෙකු බැගින් වන අතර තවත් රටවල් 14 කට ශ්‍රමිකයින් දෙදෙනෙකු බැගින් සහ රටවල් අටකට ශ්‍රමිකයින් තුන් දෙනෙකු බැගින්ද රැකියා සඳහා 2024 වසරේ ගොස් තිබේ.

1977 බලයට පත්වූ රජය ආරම්භ කළේද මැද පෙරදිග රටවල පවතින රැකියාවන් ඉලක්ක කර විදෙස් රැකියා ලබා දීමේ ව්‍යාපෘතියකි . වසර 48 ක් ගතව තිබියදී පවා අදත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් යන රටවල් අතර මුලින්ම සඳහන් වන රටවල් වන්නේ මැදපෙරදිග රටවල් වීම විශේෂත්වයකි.

විදෙස් රැකියාවන් වල නිරතව සිටියදී සිය ජිවිත අහිමිවූ පිරිස්ද විශාල වශයෙන් සිටිති. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් 473 දෙනෙකු මිය ගොස් තිබේ.එයින් වැඩිම ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ කුවේට් රටේදී වන අතර එම ප්‍රමාණය 115 කි ඒ අතර කාන්තාවන් 66 දෙනෙක්ද ඇතළත් වෙති .දෙවැනියට වැඩිම ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ සවුදි අරාබියේදී වන අතර එම ප්‍රමාණය 92 කි .ඒඅතර කාන්තාවෝ 29 ක් ඇතුළත් වෙති. . තෙවනුව වැඩිම ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ වන අතර එම ප්‍රමාණය 61 කි. ඉන් 17 ක් කාන්තාවෝ වෙති.
2024 වසරේදී එතෙර රැකියාවට ගොස් මිය ගිය 473 දෙනා විවිධ හේතුන් නිසා මිය ගොස් ඇති අතර වැඩිම ප්‍රමාණයක් ස්වභාවික හේතුන් මත මිය ගොස් ඇති බව කාර්යාංශය ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. එම ප්‍රමාණය 344 ක් වෙයි ඒඅතර කාන්තාවන් 122 දෙනෙක් සහ පිරිමින් 222 දෙනෙක් වෙති.
එයට අමතරව විවිධ අනතුරු හේතුවෙන් කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙකුද මාර්ග අනතුරු හේතුවෙන් කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකුද මිය ගොස් තිබේ. මෙම මරණ 473 අතර ඝාතන හතරක්, දිවි නසා ගැනීම් 53 ක් (කාන්තාවන් 21 ක් සහ පිරිමින් 32 ක්) සහ වෙනත් හේතුන් මත මිය ගිය දස දෙනෙකුද ඇතුළත් වේ.
මෙම තොරතුරු ඉල්ලීමේදී 2024 වසර තුලදි නීත්‍යානුකූල නොවන අයුරින් විදෙස් ගත වූ පිරිස් සහ නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයින් විදෙස් ගත කරනු ලැබූ ආයතන සම්බන්ධයෙන්ද තොරතුරු විමසා සිටියත් එම තොරතුරු කාර්යාංශය සතුව නොමැති බව දන්වා තිබේ.
පසුගිය දිනෙක කෝප් කමිටුවේදි හෙළි වූ අයුරින් පුද්ගලයින් විදෙස් ගත කිරීමේදී විවිධ අක්‍රමිකතා රැසක්ද මෙම කාර්යාංශය හරහා පසුගිය කාලවලදී සිදුව ඇති බව නිරික්ෂණය වෙයි.
කෙතරම් අඩුපාඩු තිබුණද විදෙස් රැකියා යන්න මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගකි. රැකියාවන් සඳහා යන පිරිස්වල ආරක්ෂාව තහවුරු කර ගෙන මෙම කෙෂ්ත්රය රැක ගැනීම වග කිව යුතු අංශවල වගකීම වෙයි.
