විදෙස් රැකියාව අතරතුර ආබාධිත වූ කතකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවසක්

තිරප්පනේ   සමන් පෙරේරා  

විදේශ රැකියාවක නිරතව සිටින අතරතුරදී රිය අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවකට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවසක් තනා භාරදී තිබේ. 

අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන නිලන්ති හේමලතා මහත්මිය කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගෘහ සේවිකාවක වශයෙන් සේවය කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මාසයේදී ඩුබායි රාජ්‍යයට පිටත්ව ගොස් තිබේ. එම රැකියාව අතරතුරදී 2019  ජනවාරි මාසයේදී ඇය රිය අනතුරකට ලක්වූ අතර, ඒ හේතුවෙන් ඇයගේ හිසට බරපතල හානි සිදුවී මතක ශක්තිය අහිමි විය. ආබාධිත තත්ත්වයට පත්වූ හේමලතා මහත්මිය පසුව කාර්යාංශයේ මැදිහත්වීමෙන් 2019 වසරේ මාර්තු මාසයේදී මෙරටට ගෙන්වාගෙන ගන්නා ලදී.

හේමලතා මහත්මිය පාසල් අධ්‍යාපනය ලබන සිය පුත්‍රයා සමග පියාගේ නිවසේ ජීවත්ව සිට තිබේ. ඇයගේ පුත්‍රයාට කාර්යාංශයේ සුභසාධන අංශය මගින් අධ්‍යාපන කටයුතු සඳහා මසකට රු.2500.00 බැගින් මාස 15ක කාලයක් මීට පෙර පරිත්‍යාග කරන ලදී. 

කාර්යාංශයේ ලියාපදිංචි කාලසීමාව ඉක්මවා එය අලුත් නොකර ඩුබායිහි රැඳි සිටීම හේතුවෙන් කාර්යාංශය මගින් නොමිලේ හිමිවන රක්ෂණාවරණයට හේමලතා මහත්මියට හිමිකම් නොමැති බැවින් විශේෂ කටයුත්තක් සේ සලකා කාර්යාංශයේ සහන නිවාස අරමුදල මගින් රුපියල් මිලියන 1.6 කට අධික මුදලක් වැය කරමින්  මෙම නිවස තනා දී ඇත. නිවස තැනීමේ කටයුතු නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය. 

නිලන්ති හේමමාලා මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් තනා දුන් නිවසට ගෙවැදීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුකරන ලදී. මෙම අවස්ථාවට කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (උතුරු පළාත) ඒ. එල්. ඩි.ඩි. ලක්රාණි මහත්මිය ඇතුළු කාර්යාංශ අනුරාධපුර දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ නිළධාරීන් හා පවුලේ ඥාතීන්  පිරිසක් සහභාගී විය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *