යසංග මහවිතාන
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය විසින් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයා ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.
2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවක් මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව එම නිවේදනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටි.
2014 -2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගිය බව විදුලි බල මණ්ඩලය එහි සඳහන් කර තිබේ.එම කාලය තුළ ඉන්ධන ගාස්තු ගල් අඟුරු ගාස්තු අමතර කොටස් සහ නඩත්තු වියදම් නිරන්තරගෙන් ඉහළ ගිය බවත් එහෙත් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු නොකළ බවත් නිවේදනයේ සඳහන්ය.
එලෙස ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර මණ්ඩලය විසින් දැරීම හේතුවෙන් මහා පරිමාණ ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල්දැමීමට සිදුවීම මේ වනවිට ණය අර්බුදයක් දක්වා උත්සන්නව ඇති බවද නිවේදනයෙන් දැක්වෙයි.
ඒ අනුව අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරණය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කළට ගෙවීම් සිදුකිරීම යනාදිය යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණු බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
අනාගත බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට පත්නොකරමින් ආරක්ෂිත, විශ්වාසනීය සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සියලුම ලාංකිකයන්ට ලබාදීමට ඉඩසැලසීම මෙහි මූලික අරමුණ බවද එහි දැක්වේ.
ජනතාවට විදුලි සැපයුම හැකි තරම් පහසු මිලට ලබාදීමටත්, දිගු කාලීන ප්‍රතිසංස්කරණ ඇති කරමින් අඩු වියදම් බලශක්ති ප්රවාහයන් හඳුන්වා දීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හරහා පිරිවැය අඩුකිරීමෙන් බලශක්ති ක්ෂේත්රය ශක්තිමත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලයේ අපේක්ෂාව බවද එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.
