දිස්ත්‍රික්ක 14 කට වැඩි අවදානමක්
(මොහොමඩ් ආසික්)

දේශගුණික විපර්යාසයන් නිසා ලොව පුරා ඇති වන ස්වභාවික ආපදා තත්වයන් ඉහළ යාම හේතුකොට ගෙන මේ වන විට දේශගුණික විපර්යාසය යන මාතෘකාව ලොව පුරා වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය පවසන ආකාරයට සහ දේශගුණික විපර්යාසය යන්න නිර්වචනය කර ඇති ආකාරයට එහි අර්ථය මෙලෙස සඳහන් වෙයි. මෙය ඔවුන්ගේ දීර්ඝ පැහැදිලි කිරීමේ කොටසක් පමණකි.
“ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම්, සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවික විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට, මානව ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාසවල ප්‍රධාන සාධකය බවට පත්ව ඇත, මූලික වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් වැනි පොසිල ඉන්ධන දහනය කිරීම හේතුවෙන්. පොසිල ඉන්ධන දහනය කිරීමෙන් හරිතාගාර වායු විමෝචනය උත්පාදනය වන අතර එය පෘථිවිය වටා ඔතා ඇති බ්ලැන්කට්ටුවක් මෙන් ක්‍රියා කරයි, සූර්යයාගේ තාපය උගුලට හසු කර උෂ්ණත්වය ඉහළ නංවයි. දේශගුණික විපර්යාස ඇති කරන ප්‍රධාන හරිතාගාර වායු අතර කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් ඇතුළත් වේ. මේවා පැමිණෙන්නේ මෝටර් රථයක් පැදවීම සඳහා පෙට්‍රල් හෝ ගොඩනැගිල්ලක් රත් කිරීම සඳහා ගල් අඟුරු භාවිතා කිරීමෙනි. භූමිය එළිපෙහෙළි කිරීම සහ වනාන්තර කැපීම ද කාබන් ඩයොක්සයිඩ් මුදා හැරිය හැකිය. කෘෂිකර්මය, තෙල් සහ ගෑස් මෙහෙයුම් මීතේන් විමෝචනයේ ප්‍රධාන මූලාශ්‍ර වේ. බලශක්තිය, කර්මාන්ත, ප්‍රවාහනය, ගොඩනැගිලි,කෘෂිකර්මාන්තය සහ ඉඩම් පරිහරණය හරිතාගාර වායු ඇති කරන ප්‍රධාන අංශ අතර වේ….”
මෙම දේශගුණික විපර්යාසයන් ශ්‍රී ලංකාවට බලපාන්නට පටන් ගත්තේ 2004 දෙසැම්බර් මස 26 වනදා ලොව බොහෝ රටවල් කම්පනයට පත් කරමින් අති වූ සුනාමි ව්‍යසනයත් සමඟ බව බොහෝ දෙනෙකුගේ මතය වුවත් එයට පෙරද අප රට තුළ විශාල ප්‍රමාණයේ නායයෑමේ සිදුවීම් වාර්තා වී තිබිණ.
1947 දී කඩුගන්නාවේදී සිදු වූ නාය යෑමකින් පුද්ගලයිනන් 40 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.එතැන් පටන් දිගින් දිගටම නායයෑම් විශාල වශයෙන් සිදුව ඇති අතර විශාල ජීවිත සංඛ්‍යාවක් නැති වී තිබේ. 2016 දී අරණායක සාමසර කන්දේ සිදුවූ නායයෑමෙන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එහි දෝංකාරය අදත් ඇසෙමින් පවතී.
2004 සුනාමි ව්‍යසනය ඇති වන තුරු ස්වභාවික ආපදා තත්වයන් ගැන වැඩි බලපෑමක් නොවූ ශ්‍රී ලංකාවට එතැන් පටන් නායයෑම් , ගංවතුර, සුළිසුළං වැනි ස්වභාවික ආපදාවන්ගෙන් නිරත්නර හානි වන්නට විය. මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වූ සාමසර කන්ද නාය යෑම සහ මීරියබැද්ද නාය යෑම බරපතල සිද්ධින් වූ අතර ඊට වඩා අඩු මට්ටමේ නායයෑම් සහ ගංවතුර තත්වයන් හේතුවෙන් සිදු වූ හානිද සුළු පටු නොවෙයි.
නායයෑම් සහ ගංවතුර වැනි ස්වභාවික ආපදාවන් හේතුවෙන් අපේ රටට සිදු වූ හානි සහ සිදු විය හැකි හානිකර තත්වයන් මොනවාද? 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙතින් ලබා ගත් තොරතුරු අනුව සොයා බැලිමකි මේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තොරතුරු නිලධාරි නායයෑම් පර්යේෂණ සහ අවදානම් කළමණාකරණ අංශයේ ආචාර්ය.එච්.ඒ.ජී. ජයතිස්ස මහතා විසින් ලබා දී ඇති තොරතුරු මෙම ලිපියට උපයෝගි කර ගැනේ.

ශ්‍රී ලංකාව තුල නායයෑමේ ඇතුළු ස්වභාවික ආපදාවන් පාලනය කිරීමේ ආයතනය ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් වෙයි. එහි මෙහෙවර ප්‍රකාශයේ ද සටහන් වන්නේ“සැමට සුරක්‍ෂිත හා තිරසාර නිර්මිත පරිසරයක් උදෙසා ප්‍රත්‍යාස්තිථිය ගොඩනැගීම තුළින් ආපදා අවදානම අවම කිරීම” යන්න වන අතර ඔවුන්ගේ දැක්ම වනුයේ සුරක්ෂිත “තිරසාර හා ආපදා ප්‍රත්‍යාස්තිථික නිර්මිත පරිසරයක ජීවත් වන ජාතියක්” යන්නයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 30 ක ප්‍රමාණයක් නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශ බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනා ගෙන තිබේ. මෙම ප්‍රදේශ දිස්ත්‍රික්ක 14 ක් පුරා පැතිරී තිබීමද වැදගත් වෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13 ක සිදු වූ නායයෑමේ සිදුවීම් 1252 ක් වාර්තා වී තිබේ. එම සිදුවීම් දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වී ඇති අයුරුයි මේ.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් 29 ක් ,
කොළඹ දිස්ත්‍රික්කයෙන් 55 ක්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 46 ක් ,
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 12 ක්
කළුතර දිස්ත්‍රික්කයෙන් 127 ක්
මහනුවර දිස්ත්‍රික්කයෙත් 123 ක්
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 288 ක්
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 38 ක්
මාතලේ දිස්ත්‍රික්කයෙන් 95 ක්
මාතර දිස්ත්‍රික්කයෙන් 97 ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 41 ක්
රත්නපුර දිස්ත්‍රික්කයෙන් 269 ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32 ක් වශයෙන් මෙම නාය යෑමේ සිදුවීම් වාර්තා වී තිබේ. වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කෑගල්ලෙන් සහ රත්නපුරෙන් වන අතර එම ප්‍රමාණය කෑගල්ලෙන් 288 ක් සහ රත්නපුරෙන් 269 ක් වශයෙනි. මොණරාගල දිස්ත්‍රික්කයද මෙම දිස්ත්‍රික්ක 14 ට අයත් දිස්ත්‍රික්කයක් වෙයි.
2024 වසරේ ඇතිව ඇති නායයෑමේ සිදුවීම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස පහක්,කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස හතරක්, ගාල්ලෙන් එකක්, කළුතරින් නිවාස දෙකක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස එකක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් නිවාස තුනක් මාතරින් නිවාස හතක්, නුවරඑළියෙන් එක් නිවසක්, රත්නපුරෙන් නිවාස හතක් , සහ ගම්පහින් නිවාස දෙකක් වශයෙන් නිවාස 33 කට පූර්ණ හානි සිදුව තිබිණ.
එයට අමතරව මහනුවරින් නිවාස 23 ක්, බදුල්ලෙන් තුනක්, කළුතරින් තුනක්, කෑගල්ලෙන් එකක්, මාතලෙන් 15 ක්, මාතරින් දෙකක්, නුවරඑළියෙන් එකක්, රත්නපුරින් නිවාස හතරක් ඇතුළුව නිවාස 57 කට අර්ධ හානිද සිදුව තිබිණ.
2024 වසරේ ඇති වූ මෙම නායයෑම් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති අතර බදුල්ල මහනුවර කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින් මිය ගොස් ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකුද ඇතුළුව හය දෙනෙකු මිය ගොස් තිබේ.
අධි අවදානම් කලාපයේ සිදු වූ නාය යෑම්වලින් නිවාස 33 කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 57 කට අර්ධ හානි සිදුව තිබේ එයට අමතරව තවත් නිවාස 146 කට සුළු හානිද සිදුව ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.
මධ්‍යම මට්ටමේ අවදානම් සහිත ප්‍රදේශවල සිදුවූ නායයෑම් වලින් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 105 කට අර්ධ හානි සිදුව තිබේ ඒයට අමතරව මෙම ප්‍රදේශයේ සුළු හානි හෝ හානි නොවූ නිවාස 1149 ක්ද තිබිණ.
අවදානම් අඩු ප්‍රදේශවල සිදුව ඇති නායයෑමේ සිදුවීම්වලින් නිවාස තුනකට අර්ධ හානි සිදුව ඇති අතර තවත් නිවාස 106 කට සුළු හානි සිදුව හෝ කිසිදු හානියක් සිදු නොවීද තිබී ඇත.
වසරේ වැඩි කාලයක් පුරා පවතින දැඩි වැසි සහිත කාලගුණ තත්වයක් පවතින ශ්‍රී ලංකාවේ භූ විෂමතා ලක්ෂණ අනුව නායයෑමේ අවදානම් වැඩි ප්‍රදේශ රැසක් හඳුනා ගැනීමට හැකි වෙයි. ඒ් නිසාම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැසි පවතින කාලයේදී නායයෑමේ අනතුරු ඇඟවීමත් ඒ ඒ ප්‍රදේශවල පදිංචි ජනතාවට අනතුරු ඇඟවීම් සිදු කිරිමත් නිරන්තරයෙන් සිදු වෙයි. එසේ වුවත් මෙම නිවේදන කෙරෙහි අවධානය යොමු කිරීමේ අඩුව නිසා ඇතැම් අවස්ථාවන්වල නායයෑම්වලට හසු වූ අවස්ථාද බහුලව පවතී. අවසන් වශයෙන් අපටද ඉල්ලා සිටින්නට ඇත්තේ වැසි පවතින කාලවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම් නිවේදන වලට වැඩි අවධානයක් යොමු කර තමන්ගේ ජීවිත සහ දේපළ බේරා ගන්නා ලෙසයි.
