වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහන ගලෙන්බිඳුනු වැවෙන් ඇරඹේ

සමන් පෙරේරා  

වත්මන් රජයේ සංවර්ධන සංකල්පයක් වන “ වාරි මහිම අපේ උරුමය ,, ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය අද (29) ගලෙන්බිදුණුවැව දී ආරම්භ විය.. ඒ අනුව ගලෙන්බිදුණුවැව අලුත් දිවුල්වැව වැවෙහි වම් පස සොරව්ව අලුතින් ඉදිකිරීමත්, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමත් මෙම ජාතික වැඩසටහනේ ආරම්භක ව්‍යාපෘතිය වේ.

 එම ප්‍රතිසංස්කරණ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ කෙරිණි.

මීට මාස කිහිපයකට පෙර ඇති වූ වර්ෂාවත් සමඟ ගලෙන්බිදුණුවැව අලුත් දිවුල් වැව වැවෙහි බැම්මෙන් ජල කාන්දුවක් හට ගැනීම හේතුවෙන් එම වැව  දැඩි අවධානමකට ලක් විය. වැව් බැම්ම කැඩී යාම වැලැක්වීම සදහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කර තාවකාලික පිලියම් යෙදීමට විවිධ පාර්ශව එක්ව ක්‍රියා කළහ. නමුත් මේ සඳහා ස්ථිර විසදුමක් කඩිනමින් අවශ්‍ය වූ නිසා “ වාරි මහිම අපේ උරුමය ,, ජාතික වැඩසටහනේ පළමු ව්‍යාපෘතිය ලෙස මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර ඇත.

 මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දැනට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 239 කි. එළඹෙන ඔක්තෝබර් මාසය වන විට ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරිමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා උත්සව සභාව අමතමින් මෙසේ කීය.

තම තමන්ගේ වැව් ගොවි සංවිධාන, ගොවි ජනතාව එක්ව ප්‍රතිසංස්කරණය කරගන්නා යුගයක් අපිට තිබුණා.නමුත් අද වන විට ගොවි ජනතාව මෙම ප්‍රතිසංස්කරණයන් නිලධාරින් මතට පවරා වැව රැක ගැනිමේ අවශ්‍යතාවයෙන් ඉවත් වීමක් දක්නට ලැබෙනවා. කොන්ත්‍රාත් ක්‍රම ආදිය හරහා මුදල් ඉපයීමේ පරමාර්ථ මත හිතා මතාම ගොවින් මෙයින් ඉවත් කිරිමත් තමයි මෙහිදී සිදුව තිබෙන්නේ. නමුත් නැවත වතාවක් කවුරුත් එක්ව තම වාරි පද්ධතීන් රැක ගැනීමටත්, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමටත් කැප විය යුතුයි. ප්‍රතිසංස්කරණය කිරීම් අවසන් වීමෙන් පසුව මේ අලුත් දිවුල්වැව වැව පවා භාර දෙන්නට අවශ්‍ය නිලධාරින්ට නොවේ. එය භාර දිය යුත්තේ ගොවි ජනතාවට යි. අද මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සිදු කළේ ද ඇමති වරු වන අපි නෙවෙයි. එය කළේ , ගොවි සංවිධාන නියෝජිතයින්. ඒ වගේම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසුව එය විවෘත කිරීම ද සිදු වන්නේ ගොවීන් අතින්ම යි. නිලධාරින් හා දේශපාලනඥයින් සිදුකරන්නේ මෙම කටයුතු වලට සහය වීම පමණයි , යනුවෙන් පැවසී ය.

වත්මන් රජයේ පළමු අයවැය හරහා වාරි ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන හැත්තෑ අට දහසක් වෙන් කර තිබේ. ඒ අනුව ඉහළ වාරි මහිමයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල රාශියක් දැනටමත් සැලසුම් කර තිබේ. එළඹෙන සතියේ දි උමා ඔයා ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අවසන් කිරිම සඳහා එම කටයුතු ආරම්භ කිරිමට ද නියමිතව ඇත.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන් ද මෙහි දී අදහස් දැක්වී ය. 

වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගැනීම පිළිබඳව ප්‍රදේශයේ ගොවි ජනතාව තුළ ඇත්තේ ඉහළ ප්‍රසාදයකි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි.එන්.කේ. පලිහේන, වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේන, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ  මහතා ඇතුළු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් , අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කැළුම් දිසානායක , කලාප වාරි අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා යන මහත්වරුන් , ප්‍රාදේශිය දේශපාලන අධිකාරියේ පිරිසක් ඇතුළු පාර්ශව රැසක නිලධාරින් සහභාගී වූහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *