මොහොමඩ් ආසික්

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සනිටුහන් කරයි. ලොව පුරා සිට ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන දහස් ගණනක විදේශිකයින් එයට මාහැඟි උදාහරණයක්ද වෙයි. දළදා පෙරහැර මගින් ලෝකයා හමුවේ විදහා පාන නර්තනයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවටම ආවේණික වූ නර්තන විශේෂයන් වීම එම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය බවට පත්වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.
මහනුවර ශ්‍රී දළදා පෙරහැර කියන නමත් සමගම කියවෙන නමක් බවට උඩරට වෙස් නර්තනය පත්ව තිබේ. . ඇසළ පෙරහැරෙහි ගාම්භීරත්වයට , ඓතිහාසික බවට තව තවත් ආලෝකයන් එක් කරන උඩරට වෙස් නර්තනය ශ්‍රී ලංකාවට හිමි සුවිශේෂි සංස්කෘතික දායාදයකි. ලෝක ප්‍රසිද්ධ සංස්කෘතික සංකේතයක් වන උඩරට නර්තනය ලොවට දායාද කරන්නට ශ්‍රී ලංකාව තුළ බිහි වූ පළමු කලායතනය වන්නේ මහනුවර තිත්තපජ්ජල පිහිටි ශ්‍රී ලංකා දේශිය කලායතනයයි. ලොව ප්‍රකට නර්තන ශිල්පී තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේගේ පියාණන් විසින් 1931 වසරේදී ආරම්භ කර ඇති මෙම කලායතනය අද වන විට වසර 94 ක් පුරා සිසුන් දස දහස් ගණනකට කිසිදු මුදලක් අය නොකර නොමිලයේම උඩරට නර්තන කලාව උගන්වන කලායතනයක් බවට පත්ව තිබේ.

මෙම කලායතනයේ වත්මන් කලායතනාධිපති තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේගේ ජ්‍යෙෂ්ඨ පුත් ටි.වයි. සුමනවීර මහතා මෙම කලායතනය සම්බන්ධයෙන් දැක් වූ අදහස්වලින් මෙම ලිපිය සකස් කෙරේ.
“ ලංකාවේ මුල්ම කලායතනය විදිහට තිත්තපජ්ජල ඉලංගම් හරඹ ශාලාව ආරම්භ කරන්නේ මගේ පිය තුමාගේ පිය තුමා වන ඉලංගම් කරුණාධිපති බ්‍රාහ්මණ ගණිත ගෙදර සෙව්රංගා ගණිතසාර ගුරුතුමා විසින් 1931 ජනවාරි 16 වනදා. මේ ආයතනය ආරම්භ කරන්න පැමිණෙන්නේ එවකට අධ්‍යාපනික ඇමතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ඇමති තුමා.මාගේ පියතුමාගේ පියතුමා සෙව්රංගා ගණිතසාර ගුරු තුමා විශේෂ කාර්යයන් තුනක්ම ඉටු කරල තියෙනවා .ඉන් පළමු වැන්න තමයි එදා ගුරු ගෙදරට සීමා වෙලා තිබුණ උඩරට නැටුම් පිළිබඳ අධ්‍යාපනය වඩාත් දියුණු කරලා විධිමත් ආයතිනක පුහුණු කිරීමේ තත්වයකට ගෙන ඒම. ඒ තිත්තපජ්ජල ඉලංගම් හරඹ ශාලාව ආරම්භ කිරිම මගින්.මේ හරඹ ශාලාව ආරම්භ කරන කොටම එතුමා උඩරට නර්තන කලාව ගැන පොත් පිංචක් රචනා කරල ජනගත කරල තියෙනවා. මේ පොත් පිංච උඩරට නර්තනය සහ වාදනය සම්බන්ධයෙන් මුද්‍රිත පළමු පොත ලෙසයි සැලකෙන්නේ . එතුමා මධ්‍යම පළාතේ මහා පනික්ක ධුරය දැරුවා. එම ධූරයේ තියෙන බලතලත් උපයෝගි කර ගෙන එතුමා , එවකට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධුරය දැරූ පී බී. නුගවෙල නිළමේ තුමාගේත් සහාය ඇති ව උඩරට වෙස් නැටුම මහනුවර ඇසළ පෙරහැරට එකතු කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා . උඩරට වෙස් නැටුම මින් පෙර ඇසළ පෙරහැරේ දකින්න තිබුණේ නෑ. මේක සිද්ධ වෙලා තියෙන්නේ දළ වශයෙන් 1909 දී කියලයි සඳහන් වන්නේ. මගේ පියතුමාගේ පියතුමාගේ අභාවයෙන් පස්සේ මගේ පිය තුමා වන ලෝක ප්‍රසිද්ධ නර්තන ශිල්පි තිත්තපජ්පල සුරඹා ගුරුන්නාන්සේ මේ ඉලංගම් හරඹ ශාලාවේ අධිපති ධූරය භාර ගන්නවා. එතුමා විශාල දියුණුවකට මේ හරඹ ශාලාව ගෙන යනවා . එතුමා මෙහි නාමය වෙනස් කරනවා තිත්තපජ්ජල ශ්‍රී ලංකා දේශිය කලායතනය නමින්.එතුමා ලෝක ප්‍රසිද්ධ උඩරට නැට්ටුවෙක් . එංගලන්තයේ ඇල්බට් හෝල් එකේ බකිංහැම් මාලිගාවේ රුසියාවේ බෝල්සෝයි රංග ශාලාව ඇතුළු විශේෂ ස්ථානවල එතුමා එතුමගේ රංගනය ඉදිරිපත් කරල තියෙනවා. එතුමා අපේ රටේ උඩරට නර්තනය ජාත්‍යන්තර තලයට ගෙන ගිය කෙනෙක් .ලෝකයේ බොහෝ රටවල සංචාරය කර මේ නැටුම් සංදර්ශණ ඉදිරිපත් කරල තියෙනවා. එතුමගේ කාලය තුළ දේශිය ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි විදේශිය ශිෂ්‍යයෝ විශාල පිරිසකුත් මෙම ආයතනයෙන් උඩරට නර්තන කලාව ඉගෙන ගෙන තියෙනවා. ඒ අයගෙන් එක් කෙනෙක් තමයි බ්‍රසීල ජාතික එලියස් මරියානෝ කැස්ත්‍රෝ මේ ශිෂ්‍යයා කොහොඹා කංකාරිවලත් නටල තියෙනවා. ඒ වගේම මහනුවර ඇසළ පෙරහැරෙත් වෙස් තියල නටල තියෙනවා .ඒත් එක්කම සුසන් රීඩ් කියලා දැනට ඇමරිකාවේ ඉන්න මහාචාර්යවරියක් ඉගෙන ගෙන තියෙනවා. මට මතකයි ඊවා බ්රෝන් කියලා ජර්මන් ජාතික කාන්තාවක් මෙහි නැවතිලාම ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බවට පත් ව සිටින විශාල පිරිසක්, ලංකාව පුරා ඉන්න උඩරට නර්තනය උගන්වන ගුරුවරුන් රාශියක් ඉන්නවා මේ ආයතනයෙන් බිහි වූ අය. එදා, එනම් 1931 ඉඳන් අද දක්වාම එකදු ශතයක්වත් ශිෂ්‍යයෙකුගෙන් අය කර ගන්නේ නැතිව තමයි අපි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. අපි මේ ශිෂ්‍යයන්ගේ විනය සහ හැදියාව ගැන ඉතා ඉහළින් සැලකිලිමත් වෙනවා .වර්තමානය වන විට ළමයින් 200 ක් විතර එක දවසකට මෙහි ඉගෙනුම ලබනවා . නමුත් කිසිම ආකාරයක විනය ගැටළුවක් මේ ආයතනය තුළ මතු වෙලා නෑ…” යැයිද තව දුරටත් සුමනවීර මහතා කිය.

මෙම කලායතනයේ වර්තමාන කලායතනාධිපති ලෙස ටී.වයි. සුමනවීර මහතා කටයුතු කරද්දී ප්‍රධාන නර්තනාචාර්යවරයා ලෙස කටයුතු කරන්නේ සුමනවීර මහතාගේ සොහොයුරු ටී.වයී. සමරවීර මහතායි. ඔවුන් දෙදෙනා එක්ව තව දුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කලායනයක් වශයෙන් පවත්වාගෙන යාමට දැඩි වෙහෙසක් දරණු දක්නට ලැබෙයි.
රජය මගින් මෙම විෂයයට අදාළව ලබා දෙනු ලබන සියලු උසස් සම්මානවලින් මෙම කලායතනය පුද ලබා තිබේ.

උඩරට නර්තන කාලය මෙම කලායනය මෙන්ම නොමිලයේ උගන්වමින් උඩරට නර්තන කලාවේ දියුණුව උදෙසා විශාල මෙහෙවරක් කරන තවත් කලා පරපුර රැසක කලායතන රැසක් උඩරට ප්‍රදේශයේ පවතී. ලෝක ප්‍රකට මෙම උඩරට නර්තන කලාව රැක ගන්නට වෙර දරණ ඔවුන් සියලු දෙනාට ගෞරවය හිමි විය යුතුය.
ටී.වයි.සුමනවීර මහතා
