ඉන්දික අරුණ කුමාර,නාඋල
දැන් හදන තක්කාලි වලට අස්වැන්න නෙලනකල් පමණක් අක්කරයකට පොහොර කිලෝ 600 ක් යොදනවා. ඉන් එහාට සීමාවක් නැ.
කෘෂි රසායන වල ප්‍රමාණයක් නෑ.
පැරණි ගොරක තක්කාලි අක්කරයක වගාවට දැම්මේ එක පොහොර මිටියයි.
කෘෂි රසායන කලාතුරකින් ගැහැව්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තක්කාලි වගාව සිදුකරනු ලබන්නේ බදුල්ල, නුවරඑළිය, මහනුවර, අනුරාධපුර, රත්නපුරය, සහ මාතලේ යන දිස්ත්‍රික්ක තුළය.
මෙරට සමස්ත තක්කාලි නිෂ්පාදනයෙන් 80%ක් පමණ එම දිස්ත්‍රික්කයන් 6 තුළ ඇති වගාබිම්වලින් ලැබේ. ඒ අතුරිනුත් මාතලේ දිස්ත්‍රික්කය තක්කාලි වගාව සම්බන්ධයෙන් විශේෂත්වයක් උසුලයි.
තක්කාලි වගාවට වෙළඳපොල තුළ තිබෙන ඉල්ලුම නිසා ඉන් සැලකිය යුතු ආදායමක් ලබාගත හැකි අතර, මේ ලිපිය ලියැවෙන්නේ වසර 20 ට 30 කට පෙර මාතලේ – නාඋල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ බිබිල ග්‍රාමයේ වගාකළ මෙරට දේශිය තක්කාලි හෙවත් ගොරක තක්කාලි වගාවට සිදුවු බරපතල හානිය පිළිබඳ සොයා බැලිමේ අරමුණිනි.
නාඋල බිබිල ගොවීන්ට අනුව එක් තක්කාලි ගසකින් කිලෝ පහක් හයක් පමණ ලැබිය හැකි අවම කෘෂී රසායන භාවිතයෙන් වගා කටයුතු සිදුකරගෙන ගිය ගොරක තක්කාලි වගාවේ නිරත ගොවි පවුල් ප්‍රමාණය අති මහත්ය.
මහියංගනය බිබිල ප්‍රදේශයේ දේශිය දොඩම් වලට පැවැති ප්‍රසිද්ධිය සේම නාඋල බිබිල ප්‍රදේශය ගොරක තක්කාලි වලට මහත් ප්‍රසිද්ධියක් ඉසිළුවේය.
එහෙත් අද වන විට දේශිය තක්කාලි වෙනුවට දෙමුහුන් බීජ වලින් තක්කාලි වගා කරන බිබිලේ ගොවි පවුල් 150 – 200 පමණ පිරිසේ අතීත අත්දෑකීම් අපි ඔබ වෙනුවෙන් සොයා ගියෙමු. එහි දි අපට මුලින්ම මුණ ගැසුනේ අවුරුදු පහළොව වයසේ සිට බිබිල ප්‍රදේශයේ තක්කාලි වගාවේ නිරත ගොවියෙකි.
ඒ අනුව හුරිකොටුව වත්ත,බිබිල, නාඋල ලිපිනයේ පදිංචි සෙනරත්බණ්ඩා(66) සිය අතීත අත්දැකීම් දිග හැරියේ මෙලෙසිනි.
…‘යල කන්නයේ වගේම මහ කන්නයේ ගොවීන් 20-30 ක් වගේ තමයි ගොරක තක්කාලි හදන්න ගත්තේ. ඒ කාලේ කඳ උඩ වගේම හේන් වලත් වගා කටයුතු කෙරුණා. වතුර තිබුණෙ නෑ අද වගේ. බිබිලේ අක්කර හැටක විතර ඒ කාලේ තක්කාලි හැදුවා.
අපි අස්වැන්නේ පළවෙනි ගෙඩි වලින් බීජ හදාගත්තා. යල කන්නයේ එක ගහක කිලෝ පහක් හයක් විතර හැදුනා. එක පොහොර මුරයයි වගාව ඉවර වෙනකම්ම දැම්මේ. කෘමි නාශකත් විශේෂයක් නෑ. කතාතුරකින් තමයි තෙල් ටිකක් ගැහැව්වේ.
අනිත් කාරණේ තමයි කුලියට වැඩට ගත්තේ නෑ කවදාවත්. ගෙවල් වල අයම තමයි කොටුවල වැඩකළේ. අගෝස්තු මාසේ පෑවිල්ලට කොහොම හරි මහන්සිවෙලා වතුර දානවා. මොක ද අනිවාර්යෙන් සැප්තැම්බර් වල වහිනවා ඒ වැස්ස බලාගෙන තමයි ගොවිතැන් කළේ.
ඒ කාලේ තිබ්බා බවර් පොහොර කියලා පොහොරක්. අපි හොන්ඩරයක් දානවා අක්කරයකට එච්චරයි පොහොර කියලා දැම්මේ.
අනිත් එක ඉතාම හොඳ රසයක් තිබ්බා ඒ තක්කාලි වල. මේ ගම්මානේ හැම දෙනෙක්ම තක්කාලි වලින් තමයි සේරම අවශ්‍යතා ඉටුකරගත්තේ. ළමයි ඉගෙන ගත්තේ,ගෙවල් හැදුවේ වාහන ගත්තේ ..මේ සේරම කළේ තක්කාලි වලින්.‘
ගොවීන් තුළින් විද්‍යාමාන වූ කරුණු අතරේ සොබාදහම හා බැඳුණු දේශිය තක්කාලි වගාවට කණකොකා හඬලන්නේ පිටරටින් ආනනයනය කරන දෙමුහුන් තක්කාලි වෙළඳ පොළට පැමිණිමත් සමගය.
අංක 18/ ඒ, බිබිල, නාඋල ලිපිනයේ පදිංචි ආර්.එම්.කේ.රත්නායක(53) මහතා මේ අතර සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරිනි.
‘ දැන් ඉතින් අපි හදන්නේ පැටීනා කියන තක්කාලි වර්ගය. අක්කරයකට ඒ බිජ වලට විතරක් රුපියල් 54,000.00 යනවා. ආධාරක ඉණි 8000 ක් යනවා. ඒකට රුපියල් 80,000.00 ක් යනවා. මේවා කුඹුරු වලට ගෙනල්ලා හදලා ඉවර වෙනකොට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් විතර යනවා. පළවෙනි පොහොර මුරේ දවස් පහළොවක් යනකොට දාන්න ඕනේ. ආයේ මාසයක් යනකොට පොහොර දාන්න ඕනේ. මාස දෙක යනකොට අස්වනු නෙලනවා. ගෙඩි කඩලා පහුවෙනිදට ආයේ පොහොර දාන්න ඕනේ. නැත්තන් අස්වැන්න ගන්න පලදාවක් හැදෙන්නේ නැ.
පළවෙනි මුරේට පොහොර මිටි හයයි. (කිලෝ 50 · 6 = කිලෝ 300 යි එළවළු පොහොර) මාසයක් යනකොට ආයේ පොහොර මිටි හයක් දාන්න ඕනේ. ඒ කියන්නේ ආයෙත් කිලෝ 300 ක් දානවා. අක්කරයකට. ඒ කියන්නේ පොහොර මිටි 12 යි. ඊට පස්සේ පොළොවට වැටෙන්නේ කොච්චර ද කියන්න බෑ. අස්වැන්න නෙලන ප්‍රමාණයට නැවත නැවත පොහොර දාන්න ඕනේ. අස්වැන්න අරන් සතියක් සතියක් ගානේ පොහොර දාන්න ඕනේ. එහෙම දැම්මේ නැත්නම් පලදාව ගන්න බෑ.
අක්කරේකින් තක්කාලි කිලෝ 25,000 ක් විතර කඩන්න පුලුවන්. ඒගාන කඩන්න අවම වශයෙන් පොහොර කිලෝ 1000 ට ආසන්න ප්‍රමාණයක් පොළවට දාන්න ඕනේ.
අනිත් කාරණේ තමයි කෘමි නාශක යෙදිම. මේ නව තක්කාලි බිජ වලට එක මුරේකට රුපියල් 25,000 ක් විතර යනවා. අස්වැන්න නෙළලා ඉවර වෙනකොටම කෘමිනාශක තෙල් වර්ග ගහන්නම ඕනේ. නැතිනම් වගාවට ලෙඩ එනවා.‘
වැව අසල, බිබිල, නාඋල ලිපිනයේ පදිංචි ආර්.එම්.සුජීව ධර්මන් රත්නායක(45) මහතාද සිය අදහස් දැක්වූයේ වේදනාවෙනි.
අවුරුදු ගානකට ඉස්සරලා ගොරක තක්කාලි අරන් මේ ගමේ අය ගියේ නාඋල පොළට එතන දි තමයි වෙළෙන්දෝ ඇවිත් තක්කාලි අරන් ගියේ. අද අපිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අරන් යන්න ඕනේ විකුණගන්න. තක්කාලි කිලෝවක් රුපියල් 150 කට වත් අවම තරමින් දුන්නේ නැත්නම් ආයේ තක්කාලි ගැන කතා කරළත් වැඩක් නෑ. එක මුරේකට ගොවියෙකුගේ තක්කාලි කිලෝ 2000-3000 කැඩෙනවා මයි. අද වැස්සොත් අයෙත් පහුවදා උදේට කෘමි නාශක ගහන්නම ඕනේ. මේ තක්කාලි වලට.
අද වෙනකොට බිබිල ගමේ පවුල් 150 ක් විතර ප්‍රධාන ගොවිතැන විදිහට කරන්නේ තක්කාලි වගාව. අවුරුද්දේ කන්න දෙකකට හැදෙන තක්කාලි වලින් තමයි අපි හැමෝම අවුරුද්දක් ජිවත් වෙන්නේ. මේ රස්සාව වැරදුනොත් වැරදුනා; හරිගියොත් හරි ගියා. රුපියල් 200 කට එහා මිලක් හම්බවුනොත් ආයේ කතාකරන්න දෙයක් නෑ ඉතින්.
තක්කාලි ප්‍රවාහනයට ගන්න පෙට්ටියක් රුපියල් 230.00 යි. පෙට්ටි 100 ක් ගත්තොත් රුපියල් 23,000.00 ක් යනවා. ඒ පෙට්ටි 100 දඹුල්ලට ප්‍රවාහනය කරන්න රුපියල් 8,000.00ක් ගන්නවා. මේ තක්කාලි පෙට්ටි වෙලේ ඉදලා ගෙදරට ගේන්න දෙනේනෙක් ඕනේ . අස්වැන්න කඩන්න හතර දෙනෙක් ඕනේ. ඒ අයට කන්න බොන්න දෙන්න ඕනේ. එක්කෙනෙකුට රුපියල් 2500.00 පඩි දෙන්න ඕනේ. කාන්තාවකට දවසකට 1500.00 ක් දෙනවා තක්කලි කඩන්න. ඒ නිසා තමයි අපි කියන්නේ අවම වශයෙන් තක්කාලි කිලෝවකට රුපියල් 150.00 වත් අවම මිලක් ඕනේ කියලා. නැතිනම් ඉතින් තක්කාලි ගොවියෝ අසරණ වෙන එක වලක්වන්න බෑ.
අපිට තියෙන ප්‍රධාන ගැටළුව තමයි යල කන්නය එනකොට වතුර නැහැ වගා කරන්න. ළිං ඉදිකරගන්න විදිහක් නෑ.න්ල ළිං වගේ ඉදිකරගන්න ලොකු ගැටළු තියෙනවා. වැව් වලින් හැතැප්ම ගණන් දුර ඉඳන් වතුර ගේන්න වෙනවා. ඒ සඳහා වතුර මැෂින් වලට ලාම්පුතෙල් යන ප්‍රමාණයන් කතාකරලා වැඩකුත් නැ.
ඉස්සර හදපු ගොරක තක්කාලි වගේ නෙවෙයි මේ දෙමුහුන් බිජ වලට යන වියදම ඉතාම ඉහළයි. එදා අඩුම වියදමකින් අඩු කෘෂි රසායන ප්‍රමාණයකින් හදපු දේශිය තක්කාලි වඳ වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ දෙමුහුන් බිජ.මේ බිජ වෙළඳපොළට ආවට පස්සේ ගොවින්ට පහසුකම් ඇතිවුනා වගේම ගුණාත්මක පැත්තෙන් යහපතක් වුනා කියලා කියන්න බෑ. අපි වගාවක් විදිහට මේ තක්කාලි වර්ග හදනවා. පාරිභෝගිකයත් ,අපිත් මේවා ආහාරයට ගන්නවා.
එදා මේ බිබිලේ පොළවට මේ තරම් කෘෂි රසායන වැටුනේ නැහැ. සමහර විට අපි දැන් කරන තක්කාලි බිජ තව ටික කාලයකින් මේ පොපොළොවට හරියන්නේ නැති වෙයි. එදාට ගොවියෝ වෙනත් බීජ වලට යයි. ඒ ගැන අපිට හරියට කියන්න බෑ.
මොකද කෘෂි රසායන වල යොදන්න කියලා සටහන් කරලා තියෙන ප්‍රමාණයට කිසිම ගොවියෙක් යොදන්නේ නැ. ඒකට හේතුව ඒ ඒ කෘෂි රසායන යොදන්න ඕනේ කියලා තියෙන ප්‍රමාණයට යෙදුවට වැළඳෙන රෝග පාලනය වෙන්නේ නැ. ඒ නිසා ගොවියෝ තමන්ගේ අත්දැකීම් අනුව දන්නවා යොදන ප්‍රමාණය. ඒ නිසා ප්‍රමාණ වැඩිකරලා ගැහැව්වේ නැතිනම් රෝග පාලනය වෙනනේ නෑ… ‘‘
දියමලන් කෑම,පූර්ව අංගමාරය,පශ්චිම අංගමාරය, “Target Spot” රෝගය (caused by Corynespora cassiicola ), පිටිපුස් රෝගය, ඇන්ත්‍රෑක්නෝස්,සෙප්ටෝරියා පත්‍ර පුල්ලි රෝගය, ගෙල කුණුවීම / මුල් කුණුවීම වැනි රෝග තක්කාලි වගාවේ දැකිය හැකි රෝග ලක්ෂණ වෙයි.
මෙම රෝග පාලනය සඳහා ගොවීහු විවිධ කෘෂි රසායන වර්ග ක්ෂේත්රයට යොදති. ඒවායේ ප්‍රමිතිගත ප්‍රමාණයන් පිළිබඳව ගොවින්ට නිසි අවබෝධයක් නොමැති අතර, ඔවුන් සිදුකරණුයේ සිය අත්දැකීම් අනුව කෘෂි රසායන යෙදිමය.
කෙසේ වෙතත් නිසි ක්‍රමවේදයක් යටතේ, නිසි ජල සම්පාදන ක්‍රමයක් බිබිල ගොවින්ට ලැබෙන්නේ නම් ලංකාවටම තක්කාලි සැපයිය හැකි බව ගොවීහු කියා සිටියහ.
අතීතයේ වඩාත් රසයෙන් යුතු ගොරක තක්කාලි ලංකාවේ තැනින් තැන අදටත් දැකගත හැකි වුවත් එය මහාපරිමාණ වශයෙන් වගාකල බිබිල ගොවිහු අද වන විට වෙනත් වගා කෙරෙහිද අවධානය යොමු කර ඇත්තේ ආර්ථික වාසි 🌙 හාම නොව ඔවුනට අවශ්‍ය දේශිය බිජ නොමැති කම නිසාවෙනි.
ජාතික ප්‍රතිපත්ති සැකසීමේ දී මෙරට අදටත් පවතින දේශිය බිජ නිෂ්පාදනායතන නාම මාත්‍රික ආයතන නොකොට ලංකාවේ මහපොළව සරිලන ලෙසින් අපේ දේශිය බිජ යළි පැල කිරිමට බලධාරින්ගේ අවධානය වහා වහා යොමු විය යුතුය.
ඡායාරූප
01 සෙනරත්බණ්ඩා මහතා.001
02. ආර්.එම්.කේ.රත්නායක මහතා.002
03. ආර්.එම්.සුජීව ධර්මන් රත්නායක මහතා.003
04. පැරණි ගොරක තක්කාලි.
05. වැසි වලට අසුවි ඇති නාඋල – බිබිල ප්‍රදේශයේ වර්ථමානයේ වගා කර ඇති දෙමුහුන් තක්කාලි වගා.




