වසර තුන්සිය අසූ හතකට පෙර සිදු වූ ඓතිහාසික ගන්නෝරුව සටන

 

මොහොමඩ් ආසික්

කන්ද උඩරට පාලනය කළ  දෙවැනි රාජසිංහ රජු සිය සේනාව සමඟින්  ක්‍රි.ව. 1638 මාර්තු මස 28 වනදා පෘතුගිසින් සමඟ ඓතිහාසික  සටනක් සිදු කර  පෘතුගීසි  හමුදාවේ  විශාල සොල්දාදුවන් ප්‍රමාණයක්  විනාශ  කර කන්ද උඩරට  ආරක්ෂා කර ගත් සටන සිදු වී   මාර්තු 28) දිනට වසර 387 ක් ගත වෙයි.

ක්‍රි.ව. මාර්තු මස දෙවැනිදා ඉංග්‍රීසින් මෙරට  යටත් කර ගන්නට   ශත වර්ෂ තුනකට පමණ පෙර සිටම විවිධ යුරෝපීය ජාතීහු ලංකාව යටත් කර ගන්නට මාන බැලුහ. එම කාලය වන විට  ලෝකයේ බොහෝ රටවල් යුරෝපීය ජාතිකයින්ගේ බලය හමුවේ යටත් වී සිටියද ලංකාව වසර 300 කට ආසන්න කාලයක්  ඔවුන්ට මුහුණ දී නොසැලී සිටීමට සමත්විය.

ක්‍රි.ව1505 දී මෙරටට  මුලින්ම පැමිණි පෘතුගීසින්  සිංහල රජවරුන් සමඟ සුහදව වෙළඳාම් කර ගෙන ගොස් තිබූ අතර ඔවුහු රජවරුන්ගේ සිත් දිනා ගැනීමටද සමත්ව සිට තිබේ. නමුත්  කාලයක් ගත වෙත්ම ඔවුන්ගේ සැබෑ මුහුණුවර පෙනෙන්නට පටත් ගෙන තිබිණ‍. මුලින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් ඔවුන්ට කන්ද උඩරට ආක්‍රමණය  කර ගැනීමේ දැඩි ආශාවක් ඇතිව තිබිණ.

ක්‍රි.ව.1600 ගණන් වන විට පෘතුගීසි හමුදාවේ ප්‍රධානියා ලෙස පත්ව පැමිණි කපිතාන් දියෝගෝද මේලෝ ක්‍රැස්ත්‍රෝට  කන්ද උඩරට යටත් කර ගැනීමට දැඩි වුවමනාවක් තිබිණ. මේ සඳහා ඔවුන්  තෙවරක් උත්සාහ දැරුවත් එය කර ගත නොහැකි ව ඇත්තේ කඩුගන්නාව දුර්ගයත්  මහනුවර නගරය  මහවැලි නදියෙන් වටව තිබීමත් නිසාය .

ඒ වනවිට මහනුවර රජ කළ සෙනරත් රජු 1635 දී මිය යාමත් සමඟ ඔහුගේ පුතු වූ මහා අස්ථාන කුමරු දෙවන රාජසිංහ නමින් මහනුවර රජ විය. පෘතුගීසින් මෙරටින් පන්නා දැමීම සඳහා ලන්දේසින් සමඟ දෙවන රාජසිංහ රජු එක්ව සිටින බව දැන ගත් පෘතුගීසි හමුදාවේ ප්‍රධානි ක්‍රැස්ත්‍රෝ කෙසේ හෝ කන්ද උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කළේය. මේ සඳහා ඔහු සේනා සංවිධානය කළ අතර  මලක්කාවෙන් ගෙන්වා ගත් සේනාවක්ද එයට එක් කර ගත්තේය . පෘතුගීසින් සේනා සූදානම් කරන බව දැනගත් කන්ද උඩරට දෙවැනි රජසිංහ රජුද තම සේනාවන් සූදානම් කිරීමට පියවර ගත්තේය.

පෘතුගීසින් මේ වන විට සූදානම් කර ගත්  සියලු හමුදා සාමාජිකයින්ට 1638 මාර්තු මස 19 වනදා කන්ද උඩරට මායිමේ පිහිටි අට්ටම්පිටිය ගම්මානයට එක් වන ලෙස පෘතුගීසි හමුදා නායකයා විසින්  නියෝග කර තිබිණ. එදින එම හමුදාව මැණික්කඩවර ගම්මානයට ළඟා වූහ.පෘතුගීසි හමුදාව මහනුවර නගරයට කඩා පැනීමට සුදානම්ව සිටින බව දැන ගත් දෙවන රාජසිංහ රජු මහනුවර නගරයේ සියලු වටිනා දේපළ වෙනත් ගම්මානයකට පිටත් කර හැර තිබේ. සටන් උපක්‍රමයක් වශයෙන් නගරය පාළුවට හැර නගරයෙන් බැහැරව ගන්නෝරුව කන්දේ සිය සේනාවන් රැස් කර තැබීය.

ක්‍රි.ව.1638 මාර්තු 27 වනදා අට්ටම්පිටියේ සිට මහනුවරට පැමිණි පෘතුගීසි හමුදාවට දැක ගැනීමට හැකිව ඇත්තේ පාළුවට ගොස් ඇති නගරයකි. මෙයින්  කෝපයට පත්ව ඇති පෘතුගීසි හමුදාව නගරයේ සියලු ගොඩනැගිලි ගිනි බත් කර යළි පලා ගොස් තිබේ. මෙලෙස යන අතරතුර මහවැලි ගඟ පිටාර ගලා  තිබීම නිසා ඔවුනට ගඟ තරණය කිරීමට හැකියාවක් ලැබී නැත. ඔවුන් සතුව තිබූ  වෙඩි බෙහෙත්ද තෙමී  තෙත් වී  තිබිණ, එදින රෑ  බෝ වී  තිබුණ බැවින් සහ ගඟ පිටාර ගලා තිබීම නිසා එදින ගන්නෝරුව ප්‍රදේශයේ නැවතී සිට පසු දින උදයේ අව්ව වැටෙද්දී පෙර දිනයේ වැස්සට තෙමී තේතව තිබු වෙඩි බෙහෙත්  මහා  මාර්ගයේ තුනී  කර වේලා ගැනීමට පෘතුගිසි හමුදාව  උත්සාහ කර තිබේ.  පෘතුගිසින්ගේ මෙම ක්‍රියාව ගන්නෝරුව කන්දේ දිවිදොස් ගල නම් ස්ථානයේ  කඳවුරු බැඳ සිටි සිංහල හමුදාව දැක ඇති අතර ඒ බව  දෙවැනි රාජසිංහ රජුට දන්වා පහර දීමට අවසර ලබා ගෙන තිබේ. මෙහිදී  සිංහල හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත්තේ  අතිශයින් සියුම් මෙන්ම කිසිවකුටත් සිතා ගත නොහැකි යුද උපක්‍රමයකි. එනම්  වියළුණු පුවක් ( කරුංකා)   ගෙඩියක් ගෙන එහි මුහුණතට වෙඩි බෙහෙත් තවරා ඊතලයක් මාර්ගයෙන් පෘතුගීසින්විසින් වියලීමට එලා ඇති   වෙඩි බෙහෙත්වලට විදීමයි. එවිට එම වෙඩි බෙහෙත් වලට ගිනි ඇවිලී එම වෙඩි බෙහෙත් සියල්ල ගිනි ගෙන විනාශ වී ගිය බව ඉතිහාසයේ සඳහන් වෙයි . මාර්තු 28 වනදා සිදු වූ මෙම සටන නිසා පෘතුගිසි හමුදාව දඩි ලෙස හෙම්බත්ව සිටි බැවින් කපිතාන් දියාගෝද ක්‍රැස්ත්‍රෝ විසින් සටන් විරාමයක් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා අවසර නොලැබිණ.මෙම සටන දිගින් දිගටම කර ගෙන ගොස් ඇති අතර එහිදී පෘතුගිසි හමුදාවේ 4000 ක පමණ භටයින් පිරිසක් මිය ගොස් ඇත.කපිතාන් දියෝගෝද , මේලෝ ක්‍රැස්ත්‍රෝද මිය ගිය අය  අතර වූහ.. මෙලෙස  මිය ගිය සොල්දාදුවන් අතර  කුලී  හේවායන්ද විශාල පිරිසක් වූහ.

කපිතාන් ක්‍රැස්ත්‍රෝගේ මරණයත් සමඟ සටන නැවැත්වීමට නියෝග කළ රජු ඔහුගේ සිරුර සොයා ගැනීමට සොල්දාදුවන් පිටත් කර හැරීය. එසේ වුවත් මෙලෙස ගිය   සොල්දාදුවන්ට ඔහුගේ සිරුර හමු නොවිණ. නමුත් කපිතාන් ක්‍රැස්ත්‍රෝගේ අසිපත සොයා ගැනීමට සොල්දාදුවන්ට හැකිවිය.එම අසිපත සොල්දාදුවන් විසින්  රජු වෙත ලබා දීී තිබේ.

පෘතුගීසින් සහ කන්ද  උඩරට මහනුවර රාජධානිය අතර පැවැති අවසන් සටන එය වන අතර මෙම සටන ජය ගැනීම සඳහා තියුණු යුද ශක්තිය යොදමින් පෘතුගීසින් සමූල ඝාතනය කර කන්ද උඩරට ආරක්ෂා කර ගත් වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් රජු විසින් ලබා දුන් ගම් වරය අදත් පවතින අතර එම ගම්වරය යටිහලගල නමින් හැඳින් වෙයි. අද වන විට ගම්මාන රැසකින් සමන්විත මෙම ගම්මාන අතර යටිහලගල නමින් සඳහන් ගම්මාන දෙකක්ද වෙයි. සශ්‍රීක කෘෂීකාර්මික ගම්මාන වන මෙම ගම්මාන අදත් බත බුලතින් සරුසාර වූ ගම්මාන වෙයි. අදත් මෙම ගම්මානවල ජීවත් වන්නේ මෙයට වසර 387 කට පෙර ඒ ඓතිහාසික සටනට උර දුන් වීරෝධාර රණවිරුවන්ගේ පරම්පරාවයි.

මෙම ඓතිහාසික ගන්නෝරුව සටන කන්ද උඩරට වීරෝධාර සෙන්පතීන් මෙහෙය වූ ගන්නෝරුව කන්දේ පිහිටි දිවිදොස්ගල  නැරඹීමට විශාල පිරිසක් අදත් පැමිණෙමින් සිටිති. මෙම ස්ථානය කැරඹීමට නම් පේරාදෙණිය ගන්නෝරුව මාර්ගයේ පැමිණ රණබිම රාජකීය විදුහල ආසන්නයේ ඇති මාර්ගයේ ගමන් කර කන්ද මුදුනට යායුතුය.

ගන්නෝරුව ප්‍ර දේශයේ සහ මහවැලි ගඟේ දසුන්

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *