වතු ආශ්‍රිත  සිසුවියන්ට සහ කාන්තාවන්ට ආර්ථව සෞඛ්‍ය ගැටලු රැසක්-පර්යේෂණයකින් හෙළිවෙයි

 

(මොහොමඩ් ආසික්)

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකවල වතු ආශ්‍රිතව ජීවත් වන පාසැල් සිසුවියන් ,තරුණියන්  මෙන්ම තරුණ කාන්තාවන්ද දැඩි ලෙස ආර්ථව සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී සිටින බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මානව සංවර්ධන ආයතනය ප්‍රංශ තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේද  සහාය ඇතිව මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රධාන වතු දෙකක වසර දෙකක් පුරා සිදු කළ පර්යේෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

වර්තාමනයේ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය නිදර්ශණි පෙරියසාමි  , සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය  දිලිණි රූපානන්ද යන මහත්මීන් මෙම  පර්යේෂණය සිදුකර තිබේ. මෙම පර්යේෂණය එළිදැක්වීම මහනුවර රෝවයල් කැන්ඩියෙන් හෝටලයේදී පසුගිය 16 වෙනදා සිදුවිය

මෙහිදී අදහස් දැක්වූ මානව සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා පී. ලෝගේෂ්වරි මහත්මිය,

“කාන්තාවන්ගේ  ආර්ථව එහෙම නැත්නම් ඔසප් සෞඛ්‍යය ඇයි තවමත්  සැඟවූ කරුණක් වෙන්නේ.  ඒ ගැන කතා කරන්න ඇයි අපි ලැජ්ජා වෙන්නේ. මේ අදහස මා තුළ මතු වුණේ කොවිඩ් කාලයේ  .  ආර්ථව සෞඛ්‍ය සම්බන්ධයෙන්  පිරිමින් තුළ පමණක් නොව කාන්තාවන් තුළ පවා නිවරැදි අවබෝධයක් නොමැති තත්වයක් පෙනෙන්නට තිබෙනවා.හුඟක් පාසැල්වල  ජල පහසුකම් නෑ. වැසිකිලි පහසුකම් නෑ. පාසැල් සිසු සිසුවියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේදී  අපට ගැටළු කිහිපයක් මතු වුණා. ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් එක්ව ඉගෙන ගන්නා පාසැල්වල සමහර අවස්ථාවල පිරිමි දරුවන්ට වෙනමත් ගැහැණු දරුවන්ට වෙනමත් මේ කරුණා කියා දෙන්න සිද්ධ වුණා. වතු ආශ්‍රිත කාන්තාවන්ට  සනීපාරක්ෂක තුවා මිළදී ගැනීම ගැටළුවක්ව ඇත්තේ ඔවුන්ගේ ආර්ථික තත්වය නිසයි. මෙම සනීපාරක්ෂක තුවා සඳහා සියයට 47්‍.1 ක බදු  පනවා තිබෙනවා. එය ඉවත් කළ යුතුයි  නැත්නම් අඩු කළ යුතුයි. කලින් පාසැල්වල වවුචරයක් දුන්නා ඒකෙන්  සිසුවියන් ගන්නා සනීපාරක්ෂක තුවා  පවුලටම  ප්‍රයෝජනවත් වුණා“

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා නිදර්ශණි පෙරියසාමි සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිළිණි රූපානන්ද යන මහත්මීන් විසින් වසර දෙකක් පුරා සිදු කරනු ලැබූ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස ඔවුන් විසින් කළ හෙළි දරව්වයි මේ.

“සිසුවියන් කාන්තාවන් තමන් ඉගෙන ගන්නා පාසැලේදී  වැඩ කරන තැනේදී තමන්ගේ මේ ඔසප් සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමයි අපි මේ පර්යේෂණය සිදු කළේ. වතු කරයේ ජනතාව ආන්තීකරණයට ලක් වූ ජන කොටසක් නිසා මෙම පර්යේෂණය තවත් සංකීර්ණ වුණා.අපි මේ පර්යේෂණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන වතු දෙකක් තෝරා ගත්තා.මෙම පර්යේෂණයට  සහභාගිවූ පිරිස අතර  ආර්ථව ක්‍රියාවලිය ගැන මතය වූයේ ශරීරයේ ඇති අපිරිසිිදු රුධිරය පිටවන බවයි . හෝමෝන ක්‍රියාවලියක් කියන එක  සිසුවියන් සහ ගුරුවරියන් කිහිප දෙනෙකුගේ   පමණක් අදහස වුණා. අපි මෙම පර්යේෂණයේ දී කරුණු තුනක් ගැන බැලුවා. එකක්. මෙම සිසුවියන් තරුණියන් සහ කාන්තාවන් සිය ආර්ථව අවස්ථාවේදී භාවිතා කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය කුමක්ද යන්න සොයා බැලීම , ඔවුන් එය  විනාශ කිරීම සඳහා භාවිතා කරන ක්‍රම වේදය කුමක්ද, සහ ඔවුන් එය  සෝදා නැවත භාවිතා කරන්නේද යන්න. මෙම පර්යේෂණයට සහභාගි වූ  සියලු දෙනා  සනීපාරක්ෂක තුවා භාවිතා කරන බව  හෙළි වීම විශේෂ  සිද්ධියක්. නමුත් ඒවා මිළදී ගැනීමේදී ඇති බව අපහසුතාවයන් ගැන හුඟ දෙනෙක් කතා කළා.හුඟක් අවස්ථාවල මව්වරුන් විසින් කඩවලින් ණයට මිළ දී ගෙන තිබුණා. සමහර වෙලාවට පෑඩ් දෙකක් තියෙන මිනි පෑඩ්  මිළදී  ගෙන තිබුණා.හුඟක් අය කිව්ව කතාවක් තමයි  කලින් පාසැලේ වව්චරයක් දුන්නා ඒ වවුචරය මගින් මේ සනීපාරක්ෂක තුවා මිළ දී ගන්න පුළුවන් වුණා. නමුත් ඒ වව්චරය දැන් ලැබෙන්නේ නෑ කියන එකයි. අපට මෙහිදී  දැන ගන්න පුළුවන් වෙච්ච කාරණය තමයි මාසයක් පාසා මෙම කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා මිළ  දී ගැනීම බරපතල  ආර්ථික ගැටළුවක් වෙලා තියෙනව කියන එක. සිසුවියන් කිහිප දෙනෙකු කිව්වා අපි ඉස්කෝලේ යද්දී  මේ  සනීපාරක්ෂක තුවා භාවිතා කළත් ගෙදර ඉද්දී රෙදි භාවිතා කරනව  කියලා.  ආන්තීකරණයට ලක්ව සිටින මෙම පිරිස සනීපාරක්ෂක තුවා භාවිතා කරන බවත් පේනවා. ඒ වගේම ඒවා මිළ දී ගැනීම  අපහසු බවත් හෙළි වුණා. පාසැල්වලට කලින් වවුචරයක් ලබා දීම පහසුවක් වුනත් දැන් එය ලැබෙන්නේ නෑ.

මීළඟට තියෙන ගැටළුව තමයි ඔවුන් භාවිතා කළ පෑඩ් විනාශ කරන්නේ කොහොමද කියන එක. වතු ගත්තහම ඒ සඳහා තියෙන ඉඩ ඉතා අඩුයි.ඒ නිසා හුඟක් අය කරන්නේ ඔවුන්ගේ නිවස පසුපස  ගිනි තැබීමයි.ඔවුන් කියන විදිහට ඔවුන් ඒවා ඇඳ යට එකතු කරලා තියල පසුව නිවස පසුපසට ගොස් ගිනි තියෙනවා.තවත් කිහිප දෙනෙකු කිව්වේ මේවා එකතු කරල වළ දානව  කියලා.පාසැල් ගත්තහම කිසිම පාසැලක මෙම පෑඩ් විනාශ කිරීමට තරම් සුදුසු  වැඩපිළිවෙලක් නෑ. හුඟක් පාසැල්වල ප්‍රමාණවත් ජල පහසුකම් නෑ.ඒ නිසා ඔවුන්ට පාසැලේදී සනීපාරක්ෂක තුවා මාරු කිරීමට හෝ අලුතින් දැමීමට අවස්ථාවක් නෑ ඒ නිසාම සිසුවියන්  සිය ඔසප් කාලය තුල පාසැලට යාමෙන් වළකින බවයි ඔවුන් කියන්නේ.

වතු වල ජීවත් වන කාන්තාවන් වත්තේ තේ දළු 
 නෙළමින් සිටියදී සිය ආර්ථව සෞඛ්‍ය රැක ගැනීම ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා.  ඒ සඳහා අවශ්‍ය වැසිකිලි පහසුකම් ඔවුන්ට නෑ. නිවසට ගිහින් පෑඩ් එක මාරු කර ගෙන එන්න පුළුවන්කමකුත් නෑ. දවසේ වැටුප හැටියට රුපියල් 1000 ක් ගන්න නම් ඔවුන්ට තේ දළු  කිලෝ 20 ක් කඩන්න වෙනවා. ඒ අතර ගෙදර යන්න වුනොත් ඒ ප්‍රමාණය කඩන්න බැරි වෙනවා. කඩන්න බැරි වුනොත් වැටුප  ලැබෙන්නේ නෑ . ඒ නිසා මෙනව වුනත් වැඩ කරලම ගෙදර යන තත්වයක් තමයි ඔවුන් තුළ තියෙන්නේ.මෙම පර්යේෂණය මුළු වතුකරයේම ප්‍රතිඵලය කියල කියන්න බෑ. ඒසඳහා මීට වඩා පුළුල්ව මේක කරන්න ඕන. අපගේ නිගමනය නම් රජය මේ සඳහා යම් වැඩපිළිවෙලක් කරන්න ඕන. වතුවල කාන්තවන්ට පමණක් නොව සියලු කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා පහසුවෙන් මිළ දී ගැනීමට හැකිවන පරිදි  සහන මිළක්  හඳුන්වා දීම, දැනට පනවා ඇති බදු අඩු කිරිම වගේ දේවල් කරන්න පුළුවන් ‘

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඊ.ආර්.එල්.බී ඇටම්පාවල මහතා මෙහිදී සඳහන් කළේ  මෙම සෞඛ්‍ය ගැටළුව සම්බන්ධයෙන් කිසිවෙකුත් වැඩියෙන් මෙය කතා නොකරන බවයි.  මහනුවර දළදා දැක්ම පැවැති කාල සීමාවේදී වැසිකිලි 1000 කට වැඩියෙන් හැදුවත් මේ සනීපාරක්ෂක තුවා ඉවත් කිරිම සඳහා  වැඩපිළිවෙලක් සකස් වෙලා නොතිබූ බවත් ඔහු සඳහන් කළේය. රාජ්‍ය ආයතනවලත් මේ තත්වය දකින්න ලැබෙනවා. ඉදිරියේදීවත් රජයේ කාර්යාලවල ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුව ඇති බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදී  කීය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *