වර්ෂා අමරජිත්,එරත්න
උතුම් ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ට ගතට සිතට පුදුමාකාර ශාන්තියක් ගෙන දී වෙහෙස නිවාලන, නෙතග මනස්කාන්ත දසුන් මවන, අද්භූත වූත් කුතුහලය දනවන්නාවූත් ජෛව විවිධත්වයෙන් පරිගහනවූත් ලෝක උරුම රක්ෂිතයකි; සිරිපා රක්ෂිතය.
ශ්‍රී පාද රක්ෂිතය යනු සමනළ කන්ද රක්ෂිතයයි සමනළ කන්දට මෙම නම යෙදුනේ වාර්ෂිකව සංක්‍රමණය වන සමනල් ගහනය වැඩිවීම නිසා බව කියැවේ. අධික ශීතල නිසාදෝ හිම ගිර යන අන්වර්ථ නාමයක්ද මීට යෙදේ.
පළාත් වශයෙන් ගත්කල සබරගමුව හා මධ්‍යම පළාත්වලටද ,දිස්ත්‍රික් වශයෙන් ගත් කල රත්නපුර – කෑගල්ල – නුවර එළිය දිස්ත්‍රික් තුනටද මායිම්ව මෙම අඩවිය පිහිටා ඇත. සමනළ රක්ෂිතය ප්‍රමාණයෙන් හෙක්ටයාර් 22,330ක් වන අතර මුහුදු මට්ටමේ සිට උස අඩි 7420ක් (මීටර් 2243)කි.
නිරිත දිග මෝසම් කාලයේ එනම් මැයි ජූනි, ජූලි කාලවල අධික වර්ෂාපතනයෙන් යුක්තවේ. එම සමයේදී ඝණ මීදුමද අධික ශීත කාලගුණයක් ද වේ. ඊසාන දිග මෝසම දෙසැම්බර් ,ජනවාරි, පෙබරවාරි කාලය තුළ පවතින අතර, මෙම කාලය තුළ ශ්‍රී පාද අඩවියට ලැබෙන වර්ෂාව ඉතා අඩුය. .අවසරයකින් තොරව ඇතුල් විය නොහැකි, නොඉඳුල් සංවේදී වනාන්තර කලාපයකි.එම පරිසරය තුළ වැඩෙන ශාක එම පරිසරය තුළම නොඉඳුල්ව පැතිරීම හා යම් හානියක් සිදුවුවහොත් මුළු පරිසර පද්ධතියටම බලපා එහි ඇති සමතුලිතතාව බිඳී විනාශයට ලක්විය හැකි අධික වූ සංවේදීතාව නිසා එය අධි සංවේදී වනාන්තර කලාපයක් ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ නොඉඳුල් ජෛව ගෝල රක්ෂිතයක් ලෙසද, ලෝක උරුම රක්ෂිතයක් ලෙසද සමනළ රක්ෂිතය හැඳින්විය හැක. මෙම රක්ෂිතයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් යටතේ පවතී.
මෙම රක්ෂිතය සබරගමු කඳු පන්තියට අයත් බෑන සමනල කුණු දිය පර්වතය, ගොන්මොල්ලිය, දෝතලුගල, සප්ත කන්‍යා දෙතනගල ආදී ප්‍රධාන කඳු පන්තිවලින් වටව පවතී.
ඉතාමත් දුර්ලභ ඉරුරාජ, සඳරාජ, ගුරුලු රාජ වැනි ඉතා වටිනා ඖෂධීය ශාකද ,වෙරළු ,අඹ ,දඹ ,කීන, හිඹුටු, ඇඹුල් පේර ආදී පළතුරුද, දවුල් කුරුඳු, රත්දුන්, රත්මිහිරි, දොරණ, මඩොල්, මහරත්මල් ( මේ අශෝක වර්ගයකි .හෝටන් තැන්නට ආවේණික වූ මහරත් මල නොවන බව පැවසේ.)කොක්හොට, ගිනි හොට, රද්දෝතලු, රණබට ,බේරුලියන් වැනි මීටර් පහළොවක් පමණ උස ඇති ශාක ද මෙහි දැකිය හැක. හිමගිර ඉහළට යන විට පහළ මට්ටමේ තිබෙන ශාක වල අමුතු හැඩයක් ඇති බව මා දැක ඇත.කාලගුණික සහ දේශගුණික වශයෙන් තද සුළං වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් බවින් යුතුව නැගී සිටීමට ශාක එවන් හැඩයක් ගෙන ඇතිවාට සැක නැත.
උඩු වියන් ස්ථර යටි වියන් ස්ථර සහ තෘණ සමානා පඳුරු හෙබි මෙහි දිවි ගෙවන උරග, උභය ජීවී, සිවුපා, මත්ස්‍ය හා කුරුලු ගහන මෙහි ජෛව විවිධත්වය මොනවට කියාපායි. දැවමය හා ඖෂධීය වටිනාකමින් යුත් ශාක අනූන පරිසර පද්ධතියකි. කළු මැදිරිය, කළුවර, හොර, වල්ලපට්ටා ආදී වටිනාකමින් හා මූල්‍යමය වශයෙන් වටිනා ශාක මෙහි වේ. වෙනිවැල්, කැලෑ ගම්මිරිස්, පුස්වැල් වේවැල්, කුකුළුවැල් ඖෂධීය මෙන්ම ජල පෝෂක ලෙසද වැදගත්ය.
මනස්කාන්ත පරිසරය තුළ උඩ වැඩියා ශාකද, විසිතුරු මල් වර්ගද, හොඳින් පොළොවට හිරු එළිය වැටෙනා ස්ථානවල නගා මැරූ අලද, මහ සුදනා – කුඩා සුදනා – කලා නුග – මහනුග – බෝවිටියා පඳුරුද මේ සොඳුරුතම පරිසර පද්ධතිය තුළ ඇත. විශේෂයෙන් ලයිකා, මැකරටියා, කුඩා හැඩයා, මහා හැඩයා, මහ මහරාවනා, බේඳුරු ආදියද, උඩ වැඩියා හා අපි ශාකද වේ. වර්ණගල ප්‍රදේශයේ බාඳුරා සහ කිණිහිරියා (ගිනිහිරියා) තද දම් පාට මල් විශේෂයද මා දැක ඇත.
දියසීරාව අධික බැවින් නීල හරිත ඇල්ගී, පොගනේටියා වැනි විල්ලුද ශාකද ,දිලීර ලෙස විවිධ හැඩයේ හතු වර්ගද දැකිය හැක. ඝණ ස්ථරවල හා යටි රෝපණ අපි ශාක අතරද විවිධ හැඩයේ විවිධ වර්ණවලින් යුතුව නොයෙකුත් විසිතුරු මල් දැකිය හැක. කටු කිතුල්ද, පඳුරු මෙන් කටු ශාක ද ඇත.
ගිරි ශිකරයන්ගෙන් වටවුණු මේ ඝන වන රජ දහන මැද ජල පෝෂක දිය පහරවල් 295 ක් පවතින බවද, මේ හේතුවෙන් ජල පෝෂිත අගය අතින්ද ප්‍රමුඛතම තැනක් සමනල ගිරට හිමි බවද අනාවරණය වේ. කළු, කැලණි, වලවේ ගංගා ත්‍රිත්වයේ තිඹිරිගය වන්නේද සමනල ගිරිි අභිමුවය. මහවැලියටද පණ පොවන මෙම රක්ෂිතය කුඩා කුඩා දිය කඳුරු කුඩා දිය ඇලි, නම් නොලත් අප්‍රසිද්ධ දිය ඇලිද නිර්මාණය කර ගනිමින් තව තවත් හැඩ වන්නීය.වර්ණගල දිය ඇල්ල සුප්‍රසිද්ධ දිය ඇල්ලකි.
සත්ව ප්‍රජාව ගත් කල්හි ශාක ඝන වැස්ම හේතුවෙන් මෙහිදී සතුන් පහසුවෙන් දැකගත නොහැකි බවද අනාවරණය වේ. සමනළ රක්ෂිතයේ විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ කඳුකර අලියාය. කඳුකර අලියාගේ පසු පස පාද යුගලට වඩා ඉදිරි පාද යුගලය කෙටි ව පිහිටා ඇත්තේ කඳුකර ප්‍රදේශයේ ඇවිදීම පහසුවීමටය. මොහු කුරුවිට මාලිබොඩ මාර්ගවලට සම්බන්ධ වන සුදු වැල්ල, බේරු මණ්ඩිය, හැරමිටි පාන, මැදහින්න ප්‍රදේශවල දිවි ගෙවන බවට අනාවරණය වේ. මෑතක අඩවිකන්ද ප්‍රදේශයටද තනි අලියෙකු පැමිණ තිබේ. බහුල වශයෙන් අළු වඳුරාද මෙම වන රක්ෂිතයේ ජීවත් ජීවත් වේ. තවද ක්ෂීරපායි ඝනයට අයත් හඳුන් දිවියා වල් බලලා, කොළ දිවියා, ඌරන්, කොටියා, ( sri lankan leppard) , වැලිමුවා (ඕලුමුවා), මුගටියා, හම්බාවා, රිලවා, ගෝනා, දඬුලේනා මෙහි දැකිය හැක. මල් කරවලා, ලේ මැඩිල්ලා, කුණ කටුවා, මාපිලා වැනි උග්‍ර විෂ සහිත සර්පයන්ද, අංකටුස්සා, කරමල් බෝදිලිමා, ගැරඬි සිකනලා ආදී උරගයින්ද මෙහි බහුලය. සමනළ විශේෂ රැසක් ද මේ රක්ෂිත භූමිය තුළින් වාසය කරන බව කියැවේ.
පක්ෂීන්ගෙන් ඒක දේශික කුරුල්ලන්, නේවාසික කුරුල්ලන් හා පර්යටනික කුරුල්ලන් වශයෙන් පීත කන් කොණ්ඩයා, ගිරා මලිත්තා, අළුගිරවා, සිතැසියා සුලභවේ.රතු දෙමලිච්චා ඝෝෂාකාරී කුරුල්ලෙකු වශයෙන් ප්‍රසිද්ධය.
ඒක දේශික මත්ස්‍ය වර්ග 14 ක් සිටින බවත් මෙයින් ලේ තිත්තයා, බුලත්, හපයා හල්මල් දණ්ඩියා, මල් පුළුට්ටා, දෙපුල්ලියා, මිනිස් ක්‍රියාකාරකම් මත තර්ජනයට ලක්ව සිටින බවත් වාර්තා වෙයි. තෙත් කලාපීය බව නිසා පරපෝෂිත ලේ උරා බොන සතෙකු වූ කූඩැල්ලන්ද බහුලය.
ශ්‍රී පාද පුදබිමෙහි වන්දනාවට යන බැතිමතුන් මෙම රක්ෂිතයට ගෙන යන පොලිතින් මලු බෝතල් ආදිය පරිසර විනාශයට හේතු වී තිබේ. එවැනි දේ එහි නොදමා මෙම උරුමය රැක ගැනීම සියලු දෙනාගේ වගකීමකි. හුස්ම බඳු වූ සිරිපා වන රක්ෂිතය තමාගේම හෘදය මෙන් රැක ගන්නේ නම් මෙහි තිබෙන තුරුලතා වනජීවින් වනජීවීන් ජලය තවදුරටත් ආරක්ෂා වී සොබාදම් මෑණියන් සියලු දෙනාට ආශිර්වාදයක් වනු ඇත. මේ ලෝක උරුමය අනාගත දරු පරපුර උදෙසාද රක්‍ෂා කළ යුතුමය.

