බෙලිහුල්ඔය එස්.රත්නායක

පුංචි එංගලන්තය ලෙසින් සැලකෙන නුවරඑළියේ සිසිලස කාගේත් ගතසිත නිවාලන මතකයන් සිහිගන්වයි. සෞම්‍ය දේශගුණයක් සහිත මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයෙන් සපිරි පරිසර පද්ධතියට ඇති වටිනාකම නිසාම 2010 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද එය එක්කොට තිබේ.
සංචාරක පරාදීසයක් ලෙස සැලකෙන මෙහි ඇති ශාඛ සත්ව තෘණ විශේෂ , ස්වභාවික දියකඳුරු ,බේරකර්ස් දිය ඇල්ල මෙන්ම එකිනෙකට වෙනස් මොහොතින් මොහොත වෙනස්වන පරිසරයට දෙස් විදෙස් බොහෝ ජනයා පෙම්බඳිති. ලංකාවේ ප්‍රධාන ගංගා සඳහා ජලපෝශක ප්‍රදේශ ලෙසද ක්‍රියාත්මකය. ප්‍රකට ලෝකාන්තය ද එවැනිම සුවිශේෂි ස්ථානයකි. කලින් කළ මෙකී ලෝකාන්තයෙන් පැන්න පුද්ගලයන් මෙන්ම වැටුණු දෙස්විදෙස් පුද්ගලයින් ගැන විටින් විට අසන්නට ලැබුණු බව ඔබට සිහිපත්වනු ඇත. ලෝකාන්තයෙන් වැටුණු විට එකී සිරුරු සොයා ගැනෙනුයේ බළන්ගොඩ වතු සමාගමට අයත් නන්පේරියල් වතුයායෙනි. අද මේ කථාව දෙස්විදෙස් ජනයා වශීකෘතවූ ලෝකාන්තය පාමුල ඇති සොඳුරු දනව්වක් පිළිබඳවයි.
දුෂ්කර ගමන් මග දුෂ්කර ජීවිත

කොළඹ බදුල්ල මාර්ගයේ බදුල්ල දෙසට ගමන් ගත් විට බළන්ගොඩ සිට කිලෝමීටර් 15 ක පමණ දුරින් බෙලිහුල්ඔය නගරය හමුවේ. තවත් කිලෝමීටරයක් පමණ දුර ගෙවූ පසු නන්පේරියල් වතුයායට පිවිසුම් මාර් ගය හමුවේ. මේ දක්වා අපහුසවකින් තොරව පැමිණියද එතැන් සිට මාර්ගය බොහෝ දුෂ්කරවූවකි. ලංකාවේ අති දුෂ්කර ගමන්මගක ධාවනය වන එකම බස්රථය ලංගම සතුය .එය දිනකට වාර දෙකක් බළන්ගොඩ සිට කිලෝමීටර් 20ක පමණ දුර ධාවනය කරයි. එකල නන්පේරියල් තේ කම්හල දක්වා ගමන්ගත් බසය මග දුෂ්කර නිසාම මෙම කඳුකර ප්‍රදේශයට ඇති එකම විදුහල වූ විවේකානන්ද විදුහල දක්වා ධාවනය වෙයි. නන්පේරියල් පිවිසුමේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් ලංකාවේ දෙවැනි උසම ගම්මානය වූ නැග්රැග් ඉහළ කොටස පිහිටා ඇත. අපට සිරි අසිරි ගෙනෙන අඩි 7000 ක් උස මෙකී පුරවරයේ වතු ජනාවාස හිමියෝ අපමණ දුෂ්කරතා විඳිති. ඔවුන් එකම බසය නැතිවුවහොත් උදේ සවස කිලෝමීටර් 30 ක් පමණ දුරක් ගමනාගමනයේ යෙදෙන්නේ පයින්මය. නැග්රුග් ගමේ දරුවන් පාසලට කිලෝමිටර් 5 ක් පමණ උදේ හවා රූටති. ඉහත කී ලංගම බසයේ ගමන අපූරුය. විටෙක ලොමුඩැහැගන්වන සුළුය . වංගුව අන්තයටම ගිය විට බසයේ කවුළුවෙන් පෙනෙනුයේ තෙරක් නොපෙනෙන කඳු පල්ලංකරයය. රියදුරු මහතාට කීප වරක් ඉදිරියට පස්පසට ගෙන වංගුව නැමීමට වෙරදැරිය යුතුය. නූලක් ගැස්සුනහොත් ජීවිත සියලලේම අවසානය විය හැකි බැවින් ඉතා පරීක්ෂාවෙන් -සංයමයෙන් – ඉවසීමෙන් මෙම පැදවීම කළ යුතුය. මෙම රාජකාරිය නම් ඉතාම වගකීම් සහිත බැරෑරුම් වූවකි. හැම රියදුරෙක්ම මෙම මග ගමන්ගන්නේ නැත. ඉතා පළපුරුදු දක්ෂ රියදුරු මහතුන් මෙම බස් සේවයෙහි යෙදෙති. මෙහි කටුක හා දුෂ්කර බව පිළිබඳව සමාජමාධ්‍ය ජාලාවල මෙකී බස්රථ ගමන ගැන රූප දර් ශන මුදා හරින්නේ සැබවින්ම එය චමත්කාර මෙන්ම ත්‍රාසය සපිරි සුපිරි සංචාරක ගමනාන්තයක් නිසාමය.

සංචාරක පරාදීසයක සුන්දරත්වය
සමනල රක්ෂිතයට අයත් භුමි භාගයේ වන ගහනයෙන් විසල් සෙවණක් සිසිලක් ගෙන දෙයි. ආවේණික වනසතුන් මෙන්ම පක්ෂීන්ගෙන් ගහණ මෙම ප්‍රදේශයේ ඉඳහිට අවාසනාවන්ත ලෙස ගිනී තැබීමද සිදුවන බව කිවයුතුය. හෝර්ටන් තැන්නේ සිට ගලන බෙලිහුල් ඔය, හිරිකටු ඔය, පහන්තුඩා ඇල්ල, වලවේ ගංගාවන් පෝෂණය කරන දිය කඳුරු, දිය ඇලි මෙහි සුන්දරත්වය තීව්‍ර කරයි. නන්පේරියල් පිවිසුමේ සිට කිලෝමීටර් 04 ක් පමණ දුරකින් හිරිකටුඔය පාරිසරික නවාතැන අවසර ඇතිව ලබාගැනිමට හැකියාව පවතී. දෙස් විදෙස් සංචාරකයන් සඳහා මෙකී ගමන් මගේ නන්පේරියල් තේ කම්හළ දක්වා ගමන් අවසරය ඇතත් වතුසමාගමේ අවසර පත්‍රයක් මිලදීගෙන ඉදිරියට යා හැකිය
බොහෝ දෙනාගේ ආකර්ශනය දිනූ බේකර්ස් වංගුව

ගමන්මග දුෂ්කර බව ඔබට කීවෙමු. පයින් , යතුරුපැදි හා ජීප් වර් ගයේ රථයකින් ගමන් ගැනීමට හැකි වේ . මෙහි බෑවුම සහිත කඳුකර ප්‍රදේශයක් මෙන්ම වංගුවලින් සමන්විත මගකි. ඉහතකී අවසරපත් ලබාගත් පසු මනස්කාන්ත දසුන් සහිත බේර්කස් වංගුව වෙත ඔබට ළඟාවිය හැකිය. එය මෙහි 23 වැනි වංගුව වේ.
සුප්‍රසිද්ධ බේකර්ස් වංගුව හා බැඳි කතා පුවතකි . බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සැමුවෙල් බේකර්ස් නැමැති ආණ්ඩුකාරයා නුවර එළිය හොර්ටන්තැන්න ඔස්සේ මෙම මගෙහි නිතර ගමන් ගත් බව කියැවේ . ඉහළ සිට පහළට බසිමින් සිටියදී අශ්වයා මෙම වංගුවෙන් පහළට වැටී මියගොස් තිබුණු බවත් අශ්වයා පිටින් ගිය බේකර්ස්ටද අනතුරින් තුවාල සිදුවූ බවත් පැවසේ. සිය ගමන් සගයා මියගිය ශෝකයෙන් අශ්වයා සිහිවීම පිණිස අශ්ව ලාඩමක් හැඩැතිව මෙම වංගුව සකස්කර ඇති බව සඳහන්ය. මෙම බේකර්ස් වංගුව මුහුදුමට්ටමේ සිටි අඩි 5000 ක් උසින් පිහිටා ඇත. මෙකී උස් ස්ථානයේ සිට උඩවලව, සමනලවැව, කූරගල මෙන්ම දිස්ත්‍රික්ක කීපයක් ඇස්මානයට ඈතින් දිස්වෙයි. ඇඟ සීගඩු දනවන අධික සීතල නම් දරා ගැනීමට මදක් අපහසුය. පසෙකින් ඈත පෙනෙන පරෙවියන්ගලය. පසෙකින් බලතුදූව හා ගොම්මොල්ලි කන්දය. ගිණිමද්දහනේ වුව දාහයක් නොදැනේ. සිසිල් පවනින් ගත වෙළෙන පරිසරය විටක පිණි පොද සහිත සිහින් වැස්සකින් පුබුදුවයි. විටෙක ඔබ මා හඳුනා නොගන්නා තරමට කිසිවක්ම නොපෙනෙන ඝන මීදුමෙන් වැසීයයි. විටෙ හිරුකිරණින් ආලෝකවත් වී ඈත මෑත සොඳුරු දසුන්තල මවයි. විටෙක වානරයෙකුගේ කෑ ගැසීමකි. විටෙක කුරවි නදින් පරිසරයේ නිසල බව බිඳියි. මෙතැන් සිට වළා පෙළක් මෙන් සමනලවැව දිස්වෙයි. සංචාක පරාදීසයක වඩවඩාත් ආකර්ශනය පිණිස බේකර්ස් වංගුව සිට සමනලවැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ගෙනෙන බව කීවා මතකය. ඒවා කියමන් හා මතකයන් පමණි.
තේවතු සහ හෝර්ටන්තැන්න පිවිසුම

බේකර්ස් වංගුව සිට නැග්රැග් කොටසට තවත් කිලෝමීටරයක් යායුතුව ඇත. එහි මුහුදු මට්ටමේ සිට උස අඩි 7000 කි . මෙහි අනවසරයෙන් පිවිසිය නොහැකිය. වම් පසින් වතු ජනාවාසය පිහිටා ඇත. ඉන් එහා නිලට දිලෙන තේවත්ත විහිදී ඇත. නිනව්වක් නැති හිස් අවකාශයේ දීප්තිය වරින්වර මීදුම විසින් පැහැර ගනියි. ජනාවාස දරුවෝයන එන්නන් දෙස ආදරයෙන් බලා සිටිති. ඔවුන් ලෝකය දකින්නට බැහැරට යාම් ඊම් අඩුය. නැග්රැග් සිට හෝර්ටන්තැන්න පිවිසුම් මාර්ගයක් පැවතියද මේ වන විට එහි පිවිසීම දඬුවම් ලැබිය හැකි වරදකි. පාගමනින් යා හැකි කිලෝමීටර් 2 ක දුරක් ඇති මෙම මාර්ගය විවෘත කල යුතුය ,නොකළ යුතුය යනුවෙන් බෝහෝ පාර්ශව කථාබහ කරති. කලක් මෙම මග විවෘත තිබුණි. මෙම ප්‍රදේශයේ දුරකථන සම්බන්ධතාව සන්නිවේදනය අඩාලය.. ජංගම දුරකථන හෝ ස්ථානීය දුරකථනයන් සඥා සම්බන්ධතාව ඇත්තේම නැතිතරම්ය. තේ එකක් බොන්නට ඔබට සිතුනොත් ඒ සඳහා පහසුකම් විරළය . සීමිත පිරිසක් සිටින ගමේ ඉඳහිට කඩයකි . එයද වසාදැමූ තේකම්හලට අසන්නවය. කිලෝමීටර් 10ක් යන තෙක් මිනිස් පුළුටක් නැතිවිට කඩයක් කුමට යැයි කෙනෙකුට සිතුනහොත් එය සාධාරණය.
සොඳුරු බව ළඟ අඳුරු කතා

වතුකරයේ වෙසෙන මිනිසුනට දුක යනු අමුතු දෙයක් නොවේ . උඩ රට , පහත රට ඔය කවර පෙදෙසක විසුවද ඔවුහූ දුක වළඳති . පැමිණි දුක් පැණි රසයි කියන්නට ඔව්හුු නොවේ පෙළඹෙති. . අධ්‍යාපනයටද තිත තබමින් ප්‍රාථමික අධ්‍යාපනයෙන් විධිමත් අධ්‍යාපනය හමාර කරති. එනිසාම ගමෙන් ඔබ්බට නොගොස් තේ දල්ලටම නතුවී දිවි ගෙවති.
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැග් ගමට මෙන්ම වටා ඇති වතු ජනාවාස කීපයකටම මෙය තදින්ම දැනෙන්නේය .එහෙයින්ම ඔවුහූ ඒ දුක රට හමුවේ තබන්නෝය . , කියන පරිදි නැග්රැක් ජනපදිකයන්ට පොදු පහසුකම් කිසිවක් නැතිව සංචාරක ගමන් පහසුව ගැන යමක් බලාපොරොත්තු විය නොහැකිය. සංචාරක ඔබට එහි කැසිකිලි වැසිකිලි පහසුකම් නොමැත. ගමේ දුක වළඳන ජනතාවගේ කථාව වෙනමම ලිවියයුතු කාරණාවකි. එහෙත් මෙහි එය යන්තමින් හෝ ලියා තැබිය යුතුය.
මේ පවන් රැල් අපගේය. දෑස් මානයේ සිට නොපෙනෙනා ඉමක් දක්වා දිවෙන පරිසරය අපගේය. මේ ගහ කොල අපට හුස්ම බිඳ සපයන්නේය. මේ වනපෙත අපට සිසිල සැනසුම සදන්නීය. මේ දිය කඳුළු සිව්මහා නදී පෝෂණය කරන්නීය. මේ සොඳුරු බවට ඇතුළාන්තයෙන්ම ආදරය කරමු. සොබාදහමද පෙරළා නිතින් ඔබට ආදරය කරනු ඇත. ඔබව රකිනු ඇත.


