ලුණු හිඟයෙන් කරවල නිෂ්පාදනයට දරුණු පහරක්,, “1200 තිබුණු කිලෝ 50 මිටිය 7000,8000 ට ගිහින්,

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ

පසුගිය කාලය පුරාවට පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ නැවතී ගිය ලුණු නිෂ්පාදනය හේතුවෙන් මේ වන විට දරුණු පහරක් එල්ල වී ඇත්තේ කරවල කර්මාන්තයේ නිරත තමන්ට  බව එම කර්මාන්තයේ නිරතව සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ 1000 කට ආසන්න සුළු හා මහා පරිමාන ව්‍යාපාරීකයෝ පවසති.

ධීවර කර්මාන්තයෙන්  ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්නෙන් කොටසක් කරවල සදහා යොදා ගැනේ.පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය, කරවල සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.ඒ සමගම කල්පිටිය අර්ධද්විපයේ දුපත් සමූහය වන බත්තලන්ගුන්ඩුව,උච්චමුනේ,මොහොත්තුවාරම ඇතුළු දුපත් සේම පුත්තලම,මුන්දලම,උඩප්පුව,හලාවත වෙන්නප්පුව,ඇතුළු ධීවර කර්මාන්තයේ නිරත කලාප වලද සුළු හා මහා පරිමාණ අයුරීන් කරවල කර්මාන්තය සිදුකෙරෙයි..

කරවල නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රධානතම අමු ද්‍රව්‍යයක් ලෙස ලුණු  භාවිතා කරන අතර ලුණු නොමැතිව කරවල සැකසිම බරපතල ගැටළුවක් වී ඇති බව එම කර්මාන්තයේ නිරත පිරිස් පවසති.

මෙය පුත්තලම දිස්ත්‍රික්කයට පමණක් සිමා වු ප්‍රශ්නයක් නොවන බවත් රටපුරා සමස්ථ කරවල නිෂ්පාදකයින් මුහුණ පානු ලබන පොදු ගැටළුවක් බවට  එය පත්ව ඇති බවත් ඔවුහු පවසති.

ගෙවි ගිය වසරේ පැවති මහ වර්ෂාවත් සමග පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක සමස්ථ ලුණු නිෂ්පාදනය කර ගැනිමට නොහැකි ලෙස ලුණු ලේවායන් සියල්ල දැවැන්ත ජල කදකින් වැසීන් යාම මෙම තත්වයට හේතුවූ බව කියවේ.

රට තුළ ලුණු නිෂ්පාදනය නැවති යාමත් සමග රටේ පරිභෝජනය හා තවත් කර්මාන්ත  සදහා අවශ්‍ය ලුණු ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය කටයුතු කළද, කරවල කර්මාන්තය සඳහා ලුණු ලබා දීමක් එයින් සිදු නොවිමත් සමග තමන් මහත් අසරණ තත්වයට මුහුණ දී ඇති බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් කරවල සදහා ලුණු සපයා ගැනිම බරපතල ගැටළු තත්වයක් බවත්, එසේ ලුණු අමාරුවෙන් සොයා ගැනිම කළද රුපියල් 1,200 ත් 1,500 කට ආසන්න මුදලකට තිබු ලුණු කිලෝ 50 මිටියක් මේ දිනවල රුපියල් 7,000 ක් හෝ 8,000 ක මුදලකට අලෙවි විමත් සමග කරවල නිෂ්පාදනයට යොදාගනු ලබන මිනිස් ශ්‍රමයට කළ යුතු ගෙවීම් ඇතුළු වියදම් සමග කරවල මිල කුමන ලෙසකින් පවත්වාගෙන යාමට හැකිවනු ඇති දැයි කරවල නිෂ්පාදකයෝ විමසති.

මේ පිළිබදව අදහස් දැක්වු කරවල නිෂ්පාදකයකු වන තොඩුවාව  ඩබ්ලියු .සුරංග  මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“ ඇත්තටම මම මාදැල් කරවල  ඇතුළු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වෙන ව්‍යාපාරීකයෙක්.නමුත් අද අපි පුදුම විදිහට අසරණ වෙලා තියෙන්නේ ලුණු සොයා ගැනිමට නොහැකි තත්වය හමුවේ.

මේ  මාදැල් වලට හාල්මැස්සන් හා කිරමින් මත්ස්‍යයින් අහුවෙන කාලය.ඒ නිසා අපිට ලුණු අවශ්‍යතාවය උපරිමයි.

මේ තත්වයට පසුගිය කාලයේ කාලගුණ තත්වය තදින් බලපා තිබුන බව තමා ඇත්ත කථාව.නැතිව මේ කිසිවකට ආණ්ඩුව වග කියන්න උවමනාවක් නැහැ.කරවල කරන්න ලුණු අනිවාර්යෙන්ම උවමනායි.

ඒ නිසා අපි ඉල්ලන්නේ රජයෙන් ,මේ වන විට ඉන්දියාවෙන් ලුණු ගෙන්වන නිසා, අපිට එම ලුණු වලින් යම් ප්‍රමාණයක් හරි ලබා දෙන්න කියලා .මොකද අපිට මේ කර්මාන්තය කරගෙන යන්න. එසේ නැතිව ගියොත් කරවල කර්මාන්තය නිසා ජීවත් වෙන ලංකාව පුරා ලක්ෂ ගණනක රැකියා වාගේම ව්‍යාපාරත් අහිමි වෙනවා…”

කරවල කර්මාන්තයේ නිරත මුක්කුතොඩුවාව එල්.සී.ඒ .පෙරේරා මහතා මෙසේ පැවසීය.

“රටට හොඳම තත්වයේ කරවල නිෂ්පාදනය කරලා දෙන ගමන් තවත් පිරිසකට රැකියා ලබා දෙමින්, ඔවුන් පෝෂණය කරමින්, අපි ලොකු සේවයක් කරමින් තමා මේ කර්මාන්තය කරගෙන යන්නේ ඇත්තටම අපි කරවල කරන්න යන වියදම් අඩු වෙන තරමට පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙනවා.

නමුත් දැන් ලුණු වල දරා ගන්න බැරි මිලත් එක්ක අපට පුදුම විදිහට ගැටළු රැසකට මුහුණ පාන්න සිදුවෙලා.ලුණු වල මේ මිල එක්ක අපි කියටද කරවල දෙන්නේ ..ඇත්තටම ලොකු ගැටළුවක්. ඒ සඳහා කඩිනමින් මැදිහත් වෙන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ…”

මේ පිළිබඳව කුමන ලෙසකින් කරවල නිෂ්පාදකයින් වෙනුවෙන් මැදිහත් විය හැකි දැයි අප කළ විමසුමට පිළිතුරු දෙමින්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජීත් ගිහාන් මහතා,

“අපි මේ වන විට මෙම ප්‍රශ්නයට මැදිහත් විමක් කර තිබෙනවා.ඒ අනුව  ලුණු අවශ්‍යතාවක් ලෙස සලකා ඉන්දියාවෙන් ගෙන්විමට කටයුතු කළා.එහිදි කරවල නිෂ්පාදනයට අවශ්‍ය ලුණු ප්‍රමාණය ගැන අදාල තොරතුරු ලබා දෙන්න කියලා අපි දැනුවත් කිරීම් කර තිබෙනවා.

ඒ එක්කම එකවර ලුණු මිළ අනවශ්‍ය අයුරින් ඉහළ යාම ගැනත් අපි සොයා බලමින් සිටින්නේ .එය පාලනය කළ යුතු ආකාරය ගැනත්…ඒ නිසා කරවල නිෂ්පාදකයින් කිසිම ලෙසකින් අසරණ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ යැයි ඔහු පැවසීයා..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *