නිමල් කොළඹිස්ස – මහනුවර

ඉකුත් වර්ෂාව හේතුවෙන් අමුණ කැඩීමෙන් කුඹුරු අක්කර පනහක අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී හගුරන්කෙත ලැමසූරිය ගොවියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.
මන්දාරම්නුවර හා මුංවත්ත ප්‍රදේශයේ සිට රන්දෙණිගල ජලාශය දක්වා ගලා බසින බෙලිඋල්ඔය හරස් කිරීමෙන් ලැමසූරිය අමුණ නිර්මාණය කර ඇති අතර අධික වැසි හේතුවෙන් එහි දොරටු සියල්ලම කැඩී ගොස් තිබේ.
හගුරන්කෙත හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු වූ ලැවර් නම් සුදු ජාතිකයගේ මැදිහත්වීම මත වර්ෂ 1948ට පෙර මෙම අමුණ ඉදි කොට ඇති අතර මේ වන විට මෙහි වගා වපසරිය අක්කර 465කි. ගොවියන් දෙදහකට අධික සංඛ්‍යාවක් මෙම වෙල් යායේ යල මහ දෙකන්නයේ කුඹුරු වගා කරන අතර ඔවුන් උඩවත්ත, පල්ලේගලඋඩ, මුංවත්ත, අධිකාරිගම, මොරගොල්ල, ගලඋඩ, ඉල්ලගොල්ල, හප්පාවර, ඇදිරිබැද්ද, ඕතලාව, සේරුපිටිය, සියඹලාකුඹුර ඇතුලු ගම්මාන රැසක පදිංචිකරුවෝ වෙති.
ඉකුත් වැසි සමයේදී බෙලිඋල්ඔය පිටාර ගැලීම නිසා විශාල කුඹුක් ගස් සමඟ මෙම ලැමසූරිය අමුණ විනාශ වී තිබේ. මේ හේතුවෙන් පහළ වගා කොට ඇති කුඹුරු අක්කර 50කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් අක්කර 50කට පමණ අර්ධ හානි සිදුව ඇතැයි ගොවීහු පවසති.
රත්තරං භාණ්ඩ උකස් කොට, විවිධ පාර්ශවවලින් ණය ලබා ගෙන සිදු කරන ලද ගොවිතැන මේ වන විට සම්පූර්ණයෙන් විනාශ විම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ගොවියෝ මැසිවිලි නගති. තමන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාදීමට හෝ පියවර ගන්නේ නම් එය මහත් සහනයක් වන බව ද ඔවුහු තව දුරටත් සඳහන් කරති..



