ලක්ෂ අටක් නැති නිසා පවුල් පනස් දෙකකට බීමටවත් වතුර නෑ

වැලිගම තරංග ගුණරත්න

වැලිගම බටවල ප්‍රදේශයේ යෝජිත ජල සැපයුමක් සදහා මාර්ගය දෙපස   ජල නල එළිම වෙනුවෙන්  මාර්ග අයත් වන ආයතනය ලෙස  වැලිගම ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු  ලක්ෂ අටක් පමණ වන ඇස්තමේන්තු ගත මුදල ගෙවා ගැනීමට නොහැකි වීමෙන් යෝජිත ජල සැපයුමේ කටයුතු නතරවී ඇති බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන වැලිගම බටවල ප්‍රදේශයේ  පදිංචි  ජනතාවගේ පානීය ජල ගැටලුවට  විසඳුම් ලබාදීම සඳහා  පසුගිය රජය සමයේ අවශ්‍ය කටයුතු යොදා තිබිණි.
නමුත්  එම ජල සැපයුම වෙනුවෙන් බටවල පාතගම ප්‍රධාන මාර්ගයේ සිට බටවල  කූඩඵමුල්ල කාපට් මාර්ගය ඔස්සේ  ජල නල එලීම සිදු කළ යුතු අතර  එ සදහා  මාර්ගයට  සිදුවන හානිය වෙනුවෙන් යැයි  මාර්ගය අයත් වන  ආයතනය  ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවට ලක්ෂ අටකට ආසන්න මුදලක් ගෙවීමට ජනතාවට  සිදුව තිබෙි.
කෙසේ නමුත් මෙම ප්‍රදේශයේ පවුල්  හැට පහක් පමණ   පදිංචිව සිටින අතර , එම පවුල්   අතරින් පවුල්  පනස් දෙකක ජනතාව⁣ට  පානීය ජල ගැටලුවකට මූණ පෑමට සිදුව තිබේ  .
එම ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳුම් ලබාදීමේ අරමුණින්  මාස කීපයකට ඉහතදී පසුගිය රජය සමයේ  ඒ සඳහා අවශ්‍ය කරන බට  ගෙනැවිත් දමා තිබු අතර  එම අතරින් කොටසක්  වෙනත් ව්‍යාපෘතියක් සඳහා  නැවත රැගෙන ගොස් තිබූ බවත්, තවත්  බට තොගයක්  මාස ගණනාවක් තිස්සේ  කැලෑවෙන් වැසී ගොස් ඇති බවත්  ජනතාව පවසති.
කෙසේ වුවද පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින තමන්ට කඩිනමින් පානීය ජලය ලබාදෙන ලෙස ජනතාව බලධාරිගෙන් ඉල්ලා සිටිති. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *