ලංකාවේ උසම දුම්රිය ස්ථානය – පට්ටිපොල

මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් විසින් සිය  පාලනය යටතට ගැනීමෙන් පසුව රට තුළින් ආර්ථීක වාසි ලබා ගැනීමේ ක්‍රියාදාමය ඔවුහු ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තේ, රබර් , ඇතුළු  වැවිලි ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් විශාල  ආර්ථිකමය වාසියක් ඔවුන් විසින් ලබා ගනු ලැබීය. මෙම වාණිජ ක්‍රමයන් මගින් ලබා ගන්නා ආදායම ඔවුන් තම මව් රටට ගෙන ගියද ,එම ආදායම ලබා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්  ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරිමට ඔවුහු පියවර ගත්හ.

 මේ රටේ පවතින ප්‍රධාන මාර්ග පද්ධතියෙන් වැඩි කොටසක් ඔවුන් විසින් නිර්මාණය කරන ලද අතර අදද පවතින දුම්රිය මාර්ග ඔවුන් විසින් නිර්මාණය කරන ලද දුම්රිය මාර්ගයන් වේ.දුම්රිය මාර්ගයන් සහ ප්‍රධාන මාර්ග ඉදිකිරීම මගින් ඔවුන් අපේක්ෂා කළේ රට පුරා  කරනු ලබන වැවිලි නිෂ්පාදනයන් අපනයනය කිරීම සඳහා කොළඹ දක්වා ප්‍රව‍ාහනය කිරීමයි.

කෙසේ නමුත්  ඉංග්‍රීසින් විසින් නිර්මාණය කර ලද මෙම මාර්ග පද්ධතිය අතර අදත් කතාබහට ලක්වන ස්ථානද රැසක්ද පවතී. ඒ අතර  දැනට පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානයක පිහිටි දුම්රිය ස්ථානයද එකකි.
 මධ්‍යම පළාතට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පට්ටිපොල පිහිටි දුම්රිය ස්ථානය මෙරට උසම ස්ථානයක ඉදි කර ඇති දුම්රිය ස්ථානයයි.

මුහුදු  මට්ටමේ සිට  මිටර් 1897 ක් හෙවත් අඩි 6204 ක් උසින් නිර්මාණය කර ඇති  පට්ටිපොල දුම්රිය ස්ථානය කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන ලොව දුෂ්කරම දුම්රිය ස්ථාන අතරින් හත් වන ස්ථානයේ පවතින දුම්රිය ස්ථානයයි.

 උඩරට දුම්රිය මාර්ගයේ හමු වන පට්ටිපොල දුම්රිය ස්ථානය අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා තිබේ.  

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් හෝටන්තැන්න අධි සංවේදී පරිසර කලාපයට යාව පිහිටා ඇති මෙම පටිටපොල දුම්රිය ස්ථානය ප්‍රමාණයෙන් කුඩා වුවද  අද වන විට  ඇල්ල ඔඩිසි ඇතුළු විශාල දුම්රිය ප්‍රමාණයක්  නිතිපතා නවත්වන ප්‍රධාන  දුම්රිය ස්ථානයක් බවටද පත්ව තිබේ.

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රියක නැගී රාත්‍රී අටට ගමන් කරන්නේ නම් පට්ටිපොල දුම්රිය ස්ථානය වෙත ළඟ වන විට අළුයම  3 ත් 4ත් අතර විය හැකියි.

හෝටන්තැන්න  ලෝකාන්තය ඇතුළු  අධි සංවේදි පාරිසරික කලාප නැරඹීමට දුම්රියෙන් යන්නේ නම් ඔබ බැසිය යුත්තේ මෙම දුම්රිය ස්ථානයෙන් වන අතර  ඔහිය දුම්රිය ස්ථානයෙන් බැස පැමිණීමට තවත් මාර්ගයක්ද තිබේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *