ලංකාවේ අවසන් රහතන් වහන්සේ වැඩ සිටි මැණික් දෙන

 

නාඋල ඉන්දික අරුණ කුමාර

ලෝකයේ බොහෝ ප‍්‍රදේශ මානව සංහතියේ පැවැත්ම උදෙසා අපූරු පිටිවහලක් සපයන බව සත්‍යය කරුණකි.

ස්වාභාවික පරිසරය තරම් මිනිසාට සුවය ගෙන දෙන තවත් ස්ථානයක් මිහිපිට ඇත්නම් එය ද පුදුම සහගත කරුණක් වනු ඇත.

මේ ලිපියේ අරමුණ වී ඇත්තේ මධ්‍යම පළාතේ  පිහිටි අගනා තුරුලතා පද්ධතියක් මැද අපේ ඉපැරණි උරුමයක් සඟවාගත් තවත් භූමී ප‍්‍රදේශයක් පිළිබඳව ඔබට ඔබට තොරතුරු ගෙනඒමය.

මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ දඹුල්ල හා නාඋල අතර ලෙනදොර ප‍්‍රදේශයෙන් දඹුල්ල හා ගලේවෙල නගර දෙක හරහා ඇති මාර්ගය යා කරමින් ඉදකර ඇති හරස් මාර්ගය(පහළවැව මාර්ගය) ඔස්සේ කිලෝ මීටර් 02 ක් පමණ ගිය තැන හමුවන හංදියෙන් වමට හැරී ගමන්කල විට හමුවන මේ සූවීශේෂී රුක්ෂෝද්‍යානය ඉතා සුවිශේෂි ස්ථානයකි.

එය මැණික්දෙන පුරාවිද්‍යා භූමිය වන අතර මැණික්දෙන රුක්ෂෝද්‍යානය ලෙස ද එය හැදින්වේ.

ලංකාවේ අවසන් රහතන් වහන්සේ වන මලියදේව මහ රහතන් වහන්සේ වැඩසිටියේ යැයි සැලකෙන මේ සුන්දර වූ භූමිය දෙනෙතට ප‍්‍රිය උපදවන දැකුම්කළු ස්ථානයකි.

මලියදේව මහරහතන් වහන්සේගේ සිරුර මිහිදන් කළ භුමිය ‘‘ මැණික් අතුරා සැකසු දෙන ’’ මැනික් දෙන වූ බවට ද මේ භුමිය ආසන්නයේ ජීවත්වන පිරිස් අතර පවතින එක් ජනප‍්‍රවාදයකි.

දෙනෙතට ප‍්‍රියවන යමක් ඇත්තේද ඒ තුළ ඇත්තේ සැබෑ නිර්ව්‍යාජ බවක් යන්න ප‍්‍රකට කියමනකි.

‘‘ යම් ජන කොට්ඨාශයක් මල් උයන්වතු වවන්නෝද, පියවි වන වගාකොට දෙත්ද, ඒ දඬු පාලම් තනන්නෝ ද , පැන්හලූත්, පැන් පොකුණුත් ආවාසත් සාදන්නෝද ,ඔවුනට දහවලුත් රැයෙහිත් සෑමකල්හීත් කුසල් වැඩේ ’’ සම්බුද්ධ දේශනාවේ වනරෝප සුත‍්‍රයේ සඳහන් ආකාරයට වනයට ඇති ආදරය කෙතරම් ද යන්න මෙමගින් මොනවට කියාපායි.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ 1995 වසරේ සිට ආචාර්ය මැග්ඩන් ජයසූරීය මහතා ප‍්‍රමුඛ උද්භිත විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලට අනුව වෘක්ෂෝද්‍යානය තුළ වර්ග 110 ට ආසන්න ගස් වර්ග 500 ක් හඳුනාගැනීමට හැකි වීමය.

ජෛව විවිධත්වයේ අපූර්වත්වය මෙන්ම ආවේණික ශාක හා සත්ව ප‍්‍රජාවේ ‘කෝෂ්ඨාගාරයක් ’ ලෙස මැණික් දෙන හැඳින්විය හැකිය.

මේ බිම් කඩ අධ්‍යනයක යෙදෙන යමෙකුට සේම මෙරට  ඕනෑම කෙනෙකුගේ  අවධානයට යොමුවිය යුතු ස්ථානයකි.

මැණික් දෙන ශ‍්‍රී ලංකාවේ අනන්‍යයතාවය, සංස්කෘතිය මෙන්ම බෞද්ධ ජීවන මාර්ගය ද මැනවින් විදහාපාන කැඩපතකි.

වසර පුරා විවිධ සමනල් රංචු ද දවස පුරා නිබඳව ඇසෙන කුරුළු කූජනයන් ද මේ භූමියේ පවතින සොබා දහමේ දායාදයන්ය.

මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සම්බන්ධව ඇති ඓතිහාසික තොරතුරු සැබැවින්ම චමත්කාර ජනකය.

එය 3 – 4 සියවස් දක්වා දිවයන්නේය. කිත්සිරිමෙවන් රජ දවස (555-573) මෙය ආගමික මධ්‍යස්ථානයක් වූ බව වඩාත් තහවුරු වන බව ඓතිහාසික මූලාශ‍්‍රවල සඳහන්ය.

විජයබාහු රජු දවස(1110-1111) මෙම ස්ථානයේ මුරපොළක් පැවැති බවට සාක්ෂි තිබේ.

අතීතයේ භික්ෂූන් වහන්සේ උදෙසා පැවැති විහාරාරාම,භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථාන මෙන්ම ගිලන්හල්වලින් යුක්ත අංග සම්පූර්ණ විහාර සංකීර්ණයක් මෙහි පැවැති බවට නටඹුන් රැසක් අදටත් ඉතිරිව පවතියි.

දුටුවන් වශීකෘත වන මහා කළුගල් කුළුණින් නිමවු ධර්ම ශාලාවක් ද ,උපෝෂථාගාරයක්ද, රමණීය බෝධි ඝරයක් ද මෙහි තවමත් විරාජමානව පවතිමින් අතීත ශ‍්‍රී විභූතිය මොනවට කියාපායි.

යෝධ  ගල් කණු පමණක්  ඉතිරි වූ ගොඩනැගිලි නටඹුන් 1495 – 1497

එක් පසෙකින් දුම්බර කඳු පංතියෙන් උතුරට විහිදි ගොස් රංගිරි දඹුලූ ලෙන් විහාර මායිමෙන් නිමාවට පත්වෙමින් මනරම් නිකුල කන්දේ (දූමකාට පබ්බත) වයඹ බෑවුමේ මෙම රමණීය මැණික් දෙන රක්ෂිතය පිිහිටා තිබේ.

අක්කර 40 – 50 ක පමණ වු වපසරියක පිහිටා ඇති මෙම භූමී ප‍්‍රදේශයට ඔබ්බෙන්   පිහිටියේ දර්ශනීය වියළි කළාපීය සදාහරිත තෙත් වන බිමකි.

මෙහි අවට විසිර ඇත්තේ අතීත රජ දවස භාවිතයට ගැනුණු සුන්දර බිම් කඩවල්ය.

අරංගල,ලෙනදොර සහ දඹුල්ල හා ඒ අවට පිහිටි පූජනීය සිද්ධස්ථාන රැසක් මේ රමණීය පුදබිම වටා පිහිටා තිබේ.

රැකගතයුතු මෙන්ම රැකවරණය සැලසියයුතු රමණීය මැණික්දෙන පුරා විද්‍යා රක්ෂිතය අදටත් වඩා හෙට  බොහෝ දේ  ඔබට පවසනු ඇත.

 

විශේෂ ස්තුතිය.

නාඋල – නාලන්ද සුදර්ශී විද්‍යාලයේ විදුහල්පති හා පරිසරවේදී නිමල් කනහැර ආරච්චි මහතාට හා ඉතාලියේ මිලානෝ නුවර කුසුම්සිරි ඒකනායක මහත්වරුන්ට.

ඡායාරූප

01 දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ උපදේශක හා නාලන්ද සුදර්ශී විද්‍යාලයේ විදුහල්පති, පරිසරවේදී නිමල් කනහැර ආරච්චි මහතා පරිසරය පිළිබද දැනුවත් කරමින් (ඉතාලියේ මිලානෝ නුවර කුසුම්සිරි ඒකනායක මහතාද ඡායාරූපයේ වෙයි..

 

 

03 මැණික්දෙන භූමියේ ඇති විවිධ නෂ්ඨාවශේෂ – 1492- 1493- 1494- 1495-1497

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *