රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු  ව්‍යාපෘතිය මහනුවරින් ඇරඹෙයි

 

මොහොමඩ් ආසික්

කෘෂිකාර්මික වගාවන්ට බරපතල ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය  සඳහා රුපියල් ලක්ෂ 100 ( මිලියන 10) ක මුදලත්  ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි.

මෙරට ගොවිතැනට විශාල ලෙස හානි සිදු කරන රිළා උවදුර මැඩීම සඳහා වත්මන් රජය විවිධ යෝජනා ඉදිරිපත් කළ අතර එහි එක්   පියවරක් ලෙස වන සතුන් ගණනය කිරිමද පසුගියදා සිදු විය.

කෙසේ නමුත් රිළවුන්ගෙන් වගාවන්ට  සිදු වන හානි වැළැක්වීම සඳහා රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී තීරණය කර තිබිණ.ඒ අනුව එම වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් මනුවර්ණ මහතාට භාර දී තිබූ අතර  ඒ  අනුව අද 26 වනදා පැවැති මහනුවර දිස්ත්‍රික්කයේ මාර්තු මස සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ  තෝරා ගත් ගම්මාන 15 ක   වගාවන්ට හානි කරන රිළවුන් අල්ලා රන්දෙණිගල ජලාශය ආශ්‍රිත දූපතක කොටු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යොජනා වී  ඇති බවයි. මෙම  යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී අදාළ රාජ්‍ය ආයතනලවද සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් ඒ  මහතා කීය  මේ සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන රුපියල් මිලියන 10 ක මුදල මධ්‍යම පළාත් සභාව මගින් ලබා දීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ප්‍රධාන  ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා මෙහිදී කීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගොවි ජන  සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *