කිත්සිරි වනසිංහ අනුරාධපුර
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන ජාතික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 2025 ජූනි මස 30 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහබාගීත්වයෙන් හා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයහය ඇතිව සිදු කිරීමට නියමිතය .
ජූනි මස 30 වැනිදා ආරම්භ වන ආගමික වැඩසටහන ජූලි මස 05 වැනි දිනය දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කලා වැව ගෝනනදී කළාඔය උදකුක්ඛේප සීමා මාලකයේදී අනුරාධපුර, විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාමය මහාවිහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මෙහි සමාරම්භක උත්සවය ජූනි මස 30 වන දා ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය .
මෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර කලාකරඹෑව ශ්‍රී විද්‍යාධාර පිරිවෙනේදී පැවැත්විය.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව දින හයක් පුරාවට කලාවැව උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේර භික්‍ෂූන් වහන්සේ 300ක් දෙනා සඳහා උපසම්පදා ගත කිරීම සිදුකෙරේ.
රාමඤ්ඤ මහානිකායේ උතුරු මැද සංඝ සභාව මෙහි සංවිධානත්කත්වය සිදු කරනු ලබන අතර නිකාය ආරක්ෂක සභාව දායකත්වය දක්වයි.
මෙවැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක් කිරීම තුළින් උතුරු මැද පළාතේත් මුළු මහත් රටේත් ආගමික ප්‍රබෝධයක් ඇති කිරීමත් ශාසනික අවබෝධයක් ඇති කිරීමත් මෙහි අපේක්ෂාවයි. උපසම්පදාව සාසනයේ ජීවයයි. උපසම්පදා යනු සාමණේර භික්ෂූන් වහන්සේලා අධි සීලයට පත් කිරීමයි කලාවැවේ ජලය මත පිහිටවන සීමා මාලකයේ දී මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙයි.
1863 ජූලි 13 වැනිදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කළ අතර එදා සිට අද දක්වා වසර දෙකකට වරක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කෙරේ.උතුරු මැද පළාතේ මෙය පවත්වන්නේ වසර 15කට පසුවය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, මධ්‍යම රජය හා පළාත් සභාවේ ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්වූහ.
