බෙලිහුල්ඔය එස් රත්නායක
රත්නපුර නව දිස්ත්‍රික් ලේකම් ලෙස කේ.ජී.එස්. නිශාන්ත මහතා (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය) 03 වැනිදා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
පරිපාලන ක්ෂේත්රයේ හසළ අත්දැකීම් සම්භාරයක් ඇති ඒ මහතා අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලයෙන් සාර්ථකව පාසල් අධ්‍යාපනය නිමකර රුහුණු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විෂය ධාරාවෙන් පශ්චාත් උපාධියද සාර්ථකව හදාරා ඇත.
2000 වසරේ දී සිය පළමු පත්වීම ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ ඒ මහතා 2003 වර්ෂයේ සැප්තැම්බර් මස 02 වැනි දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. එතැන් පටන් අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, අම්පාර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහකාර කොමසාරිස්වරයා ලෙසත්, පදියතලාව, ගලිගමුව සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇත. ඉන්පසු කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපති ලෙස රාජකාරී ඉටුකළ ඒ මහතා රත්නපුර දිසාපති ලෙස රාජකාරී ඇරඹීමට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ලේකම් ලෙස කටයුතු කළේය.
මෙම අවස්ථාවට රත්නපුර නව නගර ශ්‍රී සංඝරාජ විහාරාධිපති, රත්නපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය දෙල්වල මුදිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, සබරගමුව පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරු, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න මහතා, කෑගල්ල අතිරේක දිසාපතිවරුන්, රත්නපුර සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන මහත්මිය මෙන්ම රත්නපුර සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරු, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.