අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ද දැනුවත් කර එහි අනුමැතියද ලබාගෙන රත්නපුර ප්‍රදේශයේ ගංවතුර පාලන සදහා ස්ථිර විසදුමක් ලෙස වියළි බැමි ක්‍රමය පිළිබද ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවක් සැකසීම සදහා කොපමණ මුදලක් වැය වන්නේදැයි ඇස්තමේන්තුවක් සකසන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සභාපති, කේ.ජී.එස්. නිශාන්ත මහතා රත්නපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු බී.ඒ. සම්පත් මහතාට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 30දා පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ දී දැනුම් දුන්නේය.
මැයි මාසයේ ආරම්භ වන නිරිතදිග මෝසම් වැස්සෙන් සහ අන්තර් මෝසම් වැසි වලින් ගංවතුර තර්ජනයට රත්නපුර ප්‍රදේශය නිරන්තරයෙන් මුහුණ දෙයි. 2024 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් ආපදා වන්දි ලෙස රුපියල් මිලියන 301.62 ක් ලබා දී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ (ආපදා) මුදිත මංජුල මහතා මෙහිදි අවධාරණය කළේය. 2024 වසරේදි පමණක් අවස්ථා 19 කදී රත්නපුර, මුවගම කළු ගඟේ සවිකර තිබෙන ජල මාපකයට අනුව ගං වතුර අනතුරු ඇඟවීමේ සීමාව පසුකර රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවු බව ද ඔහු හෙළි කළේය. 2024 වසරේදී ගංවතුර ආපදාව හේතුවෙන් පුද්ගල මරණ 13ක් ද රත්නපුරෙන් වාර්තා විය.
කලු, කුරු, ගලතුර, දෙනවක්, කුකුළේ, වේ, නිරිඇලි යන ප්‍රධාන ගංගාවන් පිටාර ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ පහත්බිම්වලට ගංවතුර ආපදා ඇතිවෙයි. එම සෑම ගංගාවකම මේ වනවිට ජල මාපක සවිකර ඇත. ඒවායේ දත්ත අනුව ජලමට්ටම් ඉහළ යාම ගංවතුර ආපදා තත්ත්වයක් දක්වා වර්ධනය වන්නේදැයි කල් තියා දැනගැනීමට හැකිවිම විශාල පහසුකමක් වී ඇත.
කලුගග පිටාර ගැලීමෙන් සිදුවන ගංවතුර හානිය පාලනයට වියළි බැමි ක්‍රමය ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සුදුසු බවට වූ යෝජනාව මෙදින ආපදා කමිටුවේ සාකච්ඡාවට බදුන් විය. එකි ශඛ්‍යතා අධ්‍යයනයට, වියදම් ඇස්තමේන්තුවක් සකස්කර එය 2026 වසරේ අය වැය යෝජනාවලට ඇතුළත් කර, ප්රමුඛ විසදුමක් ලෙස ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බව දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා සදහන් කළේය.
මෑතකදී සිදුවු දැඩි අවදානම්ම ගංවතුර 2017 වර්ෂයේ මැයි මාසයේ සිදුවිය. එම මහා ගංවතුර තත්ත්වය හා නාය යෑම් හේතුවෙන් ජිවිත 101 ක් පමණ අහිමිවිණි. ඉන්පසු සෑම වසරකම සුළු පරිමාණ හෝ ගං වතුර තත්ත්වයන්ට මුහුණදීමට රත්නපුරේ ජනතාවට සිදුවිය. සිංහල අලුත් අවුරුද්ද පසුවි දින 45ක් ගෙවෙන දවස රත්නපුරේට සුලු හෝ ගංවතුරක් ගලන බවට ජනතාව තුළ විශ්වාසයක් පවතී.
හදිසි ආපදා තත්ත්වයන් හමුවේ දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, යුධ හමුදාව, නාවික හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධ්යක්ෂ කාර්යාලය, විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, පළාත් පාලන ආයතන, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය, රත්නපුර ශික්ෂණ රෝහල, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් සමුපකාර කොමසාරිස් කාර්යාලය, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය, රාජ්‍ය දැව සංස්ථාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, වැවිලි මානව භාරය, දිස්ත්‍රික්කයේ පවත්නා ජලාශවල ස්ථානභාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනද ඒකාබද්ධව කටයුතු කරමින් හානි අවම කිරිමට මෙතෙක් කටයුතු කර ඇත.
ඒ අයතන සමග මෙවරත් නිසි සම්බන්ධීකරණයකින් හදිසි ආපදාවකදි ක්ෂණිකව කටයුතු කිරිමට පියවරගත යුතු බවද දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා සදහන් කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවා ඇත. මේ වනවිට එම කමිටු යාවත්කාලීන කර ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පිහිටුවා ඇති ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුද පැවැත්වීමට අවශ්‍ය කටයුතු කර ඇත. එසේම ආපදා කළමනාකරණ අනුකමිටුද යාවත්කාලීන කර ඇත.
මැයි මස 06දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ දිනයේ දී හෝ ඊට පෙර දින ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විකල්ප ඡන්ද මධ්‍යස්ථාන මෙන්ම විකල්ප මාර්ග සකස් කිරිමේ සැලැස්මක් සැකසිම පිළිබඳ විශේෂ අවධානයක් මෙම ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදි යොමුවිය. රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල යන මහත්වරුද, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු, ආපදා අවස්ථාවන්හිදී සහාය වන සියලුම ආයතනවල රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



