රට මැදින් මතුවූ දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය කදවුර සහ වෙඩි බෙහෙත් ගබඩාව

 

නාඋල – ඉන්දික අරුණ කුමාර

විදේශීය ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනාවරණය වන කරුණු කාරණා දෙස බැලු කළ ඒ ඒ ජාතින්ට අනන්‍ය වූ බොහෝ දේ ලාංකික ජන සමාජය තුළ මුල් බැසගෙන ඇති බව රහසක් නොවේ.

පෘතුගීසින්, ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍යයන් සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනී වු අතීතයකි.

ශ්‍රී ලංකාව සිලෝන් බවට පත්වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේය. ඒ 1815 සිට 1948 දක්වා පැවති අවධියේ දීය.

ශ්‍රී ලංකාවේ තේ ලොව පුරා ජනප්‍රිය වන්නේ මේ සමයේ වන අතර ඒවා සිලොන් ටී ලෙස  ප්‍රචලිත විය.

විශේෂයෙන් බ්‍රිතාන්‍යන් පිළිබදව යළි යළිත් කතා බහට ලක්වන කාරණා රැසක් සම්බන්ධයෙන් යළි සටහන් තබන්නට සිදු වන්නේ මාතලේ දිස්ත්‍රික්කය තුළ බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව තොරතුරු රැසක් අනාවරණය වීමත් සමගය.

1818 ඓතිහාසික මාතලේ කැරැල්ල හා සලකා බලද්දි මාතලේ දිස්ත්‍රික්කය පුරා පැතිර ඇති බොහෝ ඓතිහාසික සංසිද්ධින් වලට කදිම සාක්ෂී සපයන්නේ ‘ ඓතිහාසික මාතලේ‘ කෘතියයි.

එහි සදහන් වන පරිදි මාතලේ – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් නාලන්ද ගෙඩිගේට පැමිණෙන මාර්ගයේ මද දුරක් ගියවිට හමුවන එක්තරා ස්ථානයක් සම්බන්ධයෙන් පසුගිය දා ගවේෂණයක නිරතවීමට අපට හැකිවිය.

ඒ දුම්බර මිතුරෝ පරිසර හා සංස්කෘතික පදනමේ නිලධාරින් සහ නාලන්ද ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිවය.

බෑලු බැල්මට හදුනා ගත නොහැකි සේ කුඩා වලක ස්වභාවයෙන් පවතින මෙම ස්ථානය  ‘කොටු ගොඩැල්ල‘ ලෙස හදුන්වනු ලබයි.

මෙම ස්ථානයේ අභයන්තරයට වන්නට පිහිටි අදුරු ගුහාවේ බ්‍රිතාන්‍ය ජාතික හමුදාවන් විසින් වෙඩි බෙහෙත් සගවා තැබු බවට තොරතුරු ලිඛිත මුලාශ්‍ර වල පවා පවතියි.

ඓතිහාසික මාතලේ කෘතිය පිටු අංක 346

උපුටා ගැනීම.

‘නාලන්ද අසළ ලෙන් දෙකක් ඇත. ස්වදේශිකයින්ගේ ආණ්ඩුව යටතේ වෙඩි බෙහෙත් සුළු ප්‍රමාණයක් සූදානම් කර ඇත්තේ මෙහි සිටය.

අභිනව නාලන්ද ගම පිහිටා ඇත්තේ උතුරු මාතලේ වග පනහ උඩසිය පත්තුවේය. මීට මාතලේ සිට සැතපුම් 14 ක දුරක් ඇති අතර, දඹුල්ලේ සිට ද එපමණ දුරක් ඇත.

 19 වැනි සියවසේ මුල පැවති බ්‍රිතාන්‍ය කොටුව කදුගැටයක් මුදුනේ පිහිටියේය. මෙවකට මෙය කොටුවේ ගොඩැල්ල (වර්තමානයේද මෙම නම භාවිත වේ) නමින් හැදින්වෙයි. මෙය පේරගහ – මද ගම්මානයට ආසන්නව ද ( වර්තමානයේ පේරගහමඩ)නාලන්ද ඔයට දකුණෙන්ද පිහිටා ඇත.

එහි බිම කැලෑවෙන් වැසි ගොස් ඇත. එහෙත් නැගෙනහිර බෑවුමේ පිට මායිමේ තවත් යම්කිසි ප්‍රමාණයකට දක්නට හැකිය. කොටුවෙන් වැසි යන ප්‍රදේශය මුළුවල අට්ටාලද සහිතව ඊසාන දිග සිට නිරිත දිග තෙක් දිගටම විහිදි යයි. කොටු බැම්ම හරි මැදින් ගොඩ නගා ඇති මහ බැම්ම යාර 56 ක් පමණ වේ.

ඊසාන දිගින් යාර 35 ක් වන එහි පළල ප්‍රධාන ආරම්භක ස්ථානයේ මැදට යාර 22 දක්වා වනසේ වෙනස් වේ. බිම් මට්ටම මැදට වඩා යාර 12 සිට 15 දක්වා ප්‍රමාණයක් කෙලවරින් උස්වේ

බ්‍රිතාන්‍යන් විසින් සිය ආරක්ෂක වළලු පුළුල් කිරිමේ අරමුණින් පවත්වාගෙන ආ මෙම ගුහාව වර්තමානය වන විට ජරාජිර්ණව පවතියි.

එක් පසෙකින් වර්ෂා සමයේ දි ගලා බසින දිය පහරක් පැවති බවට සාධක ද මෙහි ඇත්තේය.

ගිනිය නොහැකි මිලියන ගණනක් වු වවුල් විශේෂයන්හි රාජධානියක් බවට පත්ව ඇති මෙය වර්තමානය සහ අනාගතය වෙනුවෙන් සංරක්ෂණය විය යුතු බැව් මෙම චාරිකාවට එක් වු පිරිස් සහ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ උපදේශක  නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේය.

මෙම ගුහා ද්වාරයට කිලෝ මීටර් දෙක තුනක් පමණ දුරින් පිහිටි කුඩා කදු ගැටයකට සමාන කෑලැවෙන් වැසි ගිය ස්ථානයක් ද තිබේ.

එම ස්ථානයට පිරිස සමග ගමන් කළ අපට දැක ගැනීමට හැකිවූයේ කිසියම් ඉදිකිරිමක නෂ්ඨාවශේෂ මෙහි පවතින බවයි.

කාලාන්තරයක් තිස්සේ පැවත ඇති මෙම ස්ථානය හමුදා කදවුරක් බවත් ඉන් ඔබ්බෙහි අගල් සහිත ස්ථානය කාලතුවක්කුවක් රදවා තිබු ස්ථානයක් බවත් ඓතිහාසික මාතලේ කෘතිය උපුටා දක්වමින් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේය.

එය මෙසේය.

ඓතිහාසික මාතලේ කෘතිය

පුරා විද්‍යා සමීක්ෂණ  1910 – 11

උපුටා ගැනීම

‘ බ්‍රිතාන්‍ය කොටුව“

‘1818 උඩරට කැරැල්ල සමයේ දී බ්‍රිතාන්‍ය සේනාංකයක් නාලන්දෙහි පදිංචිව සිටි අතර එය ඉතා උතුරින්ම පිහිටි යුධ හමුදා කදවුර බවට පත්විය. මෙහි සිට දළදා හිමියන් මහනුවරින් සොරකම් කරගෙන යාමට සැලසුම් කරන ලදුව සාර්ථක වීමට ආසන්නව පැවති තැතක් ව්‍යාර්ථව ගියේ මේ කාලයේ දීය.‘‘

මේ කාලයේදි පළමු ලංකා ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ  මෙසේ සදහන් වෙයි.

‘ ඒ ආසන්න  ප්‍රදේශයෙහි ස්ථිර හමුදා කදවුරක් පිහිටුවිම සදහා ඉතාම යහපත් තත්ත්වයක් ගැන එතෙක් තමා තීරණයක් ගෙන නොතිබුණු නිසාත් නාලන්ද ඔය උතුරු ඉවුරේ ඊටත් වඩා වාසිදායක තැනක් නැද්දැයි (මේ ගැන පරික්ෂා කර බලා වාර්තා කිරිමට ඔහු කපිතාන් හාඩිට නියම කර තිබුනි) තීරණය නොකරන ලද නිසාත් ලුතිනන් කර්නල් කෙලි කපිතාන් හාඩිට නැවතත් නාලන්ද හී තාවකාලිකව නතර වන ලෙස උපදෙස් දී 1818 ඔත්තෝබර් 3 දින කපිතාන් හාඩි එහි නතර කරවීය.

73 වැන්නෙහි සිට ලුතිනන් ‘ මර්පි ‘ නාලන්දේ සිට මෙසේ ලියයි. මිනිසුන් අපගේ ආණ්ඩුවට පක්ෂපාත බැවි පෙනේ. ඔවුහු බඩු මුට්ටුද ගෙනෙති. අපගේ පරමාර්ථය සදහා සටන් කිරිමට පවා ඔවුන් සූදානම් බැවි ප්‍රකාශ කර සිටිති ‘ ( නොවැම්බර් 22 )

ඩෙිව් 1821 දී මෙසේ සදහන් කරයි.

‘අවුරුදු ගණනාවක් ගතවන තුරුම නාලන්ද බ්‍රිතාන්‍ය යුද හමුදා මධ්‍යස්ථානයක්ව පැවතියේය.‘

ආනන්ද කනහැර ආරච්චි මහතාගේ පැහැදිලි කිරිම් වලට අනුව මෙහි ඇත්තේ අද්වීතිය ඉතිහාස ගත කරුණුය.

‘‘1815 අපි ඉංග්‍රීසීන්ට යටත් වුනාට පස්සේ ඉංග්‍රීසීන්ට ඕන වෙනවා ඔවුන්ගේ බල කොටු නිර්මාණය කරන්න. එහි ප්‍රතිඑලයක් විදිහට තමයි මේ නාලන්දා කොටු ගොඩැල්ල තෝරගෙන තිබෙන්නේ.ඓතිහාසික කෘති වල සදහන් වන ආකාරයට කැප්ටන් කුලි සහ කැප්ටන් බ්‍රෙිඩි දෙදෙනා තමයි මේ කාර්යයට මුල් වෙලා තියෙන්නේ. ඉතාම වැදගත් දේ තමයි දඹුලු විහාරයේ රදවලා හිටපු හමුදා කදවුරෙන් කොටසක් තමයි මෙම ස්ථානයට ඇවිත් තියෙන්නේ. ඒ සදහා මග පෙන්වලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. මේ ස්ථානයට අවාහම රජරට පළාත දක්වා දැක බලා ගන්න පුලුවන්.  එක් පසෙකින් අඹන් ගග ගලා බසිනවා. අනිත් පසින් වර්ථමානයේ නිර්මාණය වෙලා තියෙන ඒ නයින් මාර්ගය. ඒ නිසා මෙය ඉතාමත් හොද යුධ මර්මස්ථානයක් විදිහට ඒ කාලේ ඉදම තිබිලා තියෙනවා.

මේ ස්ථානයේ සවිකර තිබු කාලතුවක්කුවක් පසු කලෙක මාතලේ නානායක්කාර උද්‍යානයේ තිබිලා පසු කාලිනව මහනුවර යුධ හමුදා කදවුරක කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂණය කරලා තියෙනවා.

ඒ වගේම අපේ ශාසනික ඉතිහාසය ගැන කතා කරනකොටත් ඉතාමත් වැදගත් කාරණාවක් මේ ස්ථානය පිළිබදව සදහන් වෙනවා.

ඓතිහාසික මාතලේ කෘතියේ එක් තැනෙක සදහන් වෙනවා 1881 – 1821 කාල පරිච්ඡේදයේ දළදා වහන්සේ භික්ෂුන් වහන්සේ නමකගේ පොට්ටනියක තිබිලා සොයා ගත්තාය කියලා.

ස්කූල් බ්‍රෙිට් කියන හමුදා නිලධාරියාට පබිලිය (වර්ථමානනේ පුබිබිලිය වෙන්න පුලුවන්) කියන ප්‍රදේශයේ කණ්ඩායමක් සමග සිටි භික්ෂුන් වහන්සේ නමකගේ පසුම්බියක තිබිලා දන්ත ධාතුන් වහන්සේ හමුවුනා කියලා සදහන් වෙනවා.

මේ භික්ෂුවත් දළදා වහන්සෙත් එදා ස්කුල් බ්‍රේටි හමුදා නිලදාරියා විසින් මේ ස්ථානයේ පිහිටා තිබු කදවුරේ සිටි කැප්ටන් බේඩිට බාරදිලා තිබෙන්නේ. පසුව තමයි මහනුවර දක්වා දළදා වහන්සේ වැඩම කරවාගෙන ගොස් තිබෙන්නේ.

ඉතින් මේ ස්ථානය අද වන විට කැලෑ වැදිලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට වගේම රටේ මේ සම්බන්ධයෙන් කටයුත කරන ආයතන වලට මේ ස්ථානය පිළිබද ගවේෂණයක් කරන්න කියලා. එතකොට තවත් බොහෝ කරුණු සොයාගන්න පුලුවන් වේවි.‘

මේ මාතලේ දිස්ත්‍රික්කයේ පවතින අතීත තොරතුරු වලින් බිදකි.

යම් කිසි අයුරින් සංවිධානාත්මකව දිස්ත්‍රික්කය පුරා පුලුල් ගවේෂණයක් සිදුකරන්නේ නම් මීටත් වඩා බොහෝ තොරතුරු සොයාගත හැකිය.

ඒ සදහා වගකිවයුතු අයගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බැවි මෙහිලා අවසන් වශයෙන් සදහන් කරනු වටියි.

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *