රටට සම්පත් වන්නෝ – මරණයට දිවි දෙන්නෝ

සන්ජු සන්ජීවනී

තැඹිලි පැහැති අහස රතු, දම් තීරු සහිත සේලයක් පැළඳුවාක් වැනිය. විසල් තුරු මුදුන් හිස ඔසවා අහස දෙස බලා හිඳින්නේ සෙනෙහසිනි. ළපලු දළු පත් සහිත වන වදුලු හා තුරු ගොමු අතරින් අළු කළු පැහැති සද්ධන්තයෝ මතු වෙති. කුඹු දහසයක් නැතත් මේ ලක්දෙව් පුරයට නම් ඔවුන් සම්පතකි. ඩොලර් උනන උල්පතකි. සංස්කෘතියේත්, ඉපැරණි සමාජීය වත්කමෙහිත්, මුදුන් මුල් කඩෙකි. එක් අතකට කුඹු දහසයක් නැති එකත් හොඳක් විය යුතුය. මන්දයත් එවිට කුඹු දහසයම කපා දමා හෝ ඇත්දල ගලවා ගැනීමට අපේ මිනිසුන් හපන්ය. එමෙන්ම එක් කුඹුවකින් කරන විනාසය කුඹු දහසයකින් කළහොත් අපේ මිනිස් සංහතිය වැනසෙන්නටද මහත් කාලයක් ගත වන්නේ නැත.

දන්නා කාලයක සිට මේ අලි මිනිස් ගැටුමෙහි නිමාවක් නම් නැත. මිනිසුන් අතින් වන අලි සම්පත වැනසේ. වන අලින් විසින් මිනිස් ජීවිත මෙන්ම ගොඩනැගිලි දේපළ හා වෙනත් වත්කම්ද විනාශ කර දමති දමති. එය එදා එදා මෙදා තුර නොනැවතී පවතින ගැටුම් සමුදායකි. රජය ද, මිනිසුන්ද, වනජීවී දෙපාර්තමේන්තුවද, කොපමණ පිළියම් යෙදුවද හැමදාමත් පවතින ගැටලුවකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මිනිසුන් මොනවා කීවද වනඅලි ඇතුනට කතා කළ නොහැක. ඔවුන්ගේ සිතේ ඇත්තේ මොනවාදැයි දන්නෝ  ඔවුහුමය. එබැවින් ඔවුහු අවස්ථාව ලත් විගස ගම් වැදෙති. මිනිස් ජීවිත වනසති. දේපළ විනාශ කරති. එමෙන්ම හක්ක පටස් කා නොවිඳිනා දුක් විඳිති. අනවසර විදුලි රැහැන් වල පැටලී දිවියට සමු දෙති. දුම්රියට බිලි වෙති. වගා ළිං වල වැටෙති. වෙඩි කා මියයති. නොනවතින ක්‍රියා ප්‍රවාහයක් මෙන් හැමදාමත් මේ සියල්ල සිදුවේ. එමෙන්ම අලිනට විපතක් වූ විට මිනිස් සිත් වෙඩරු සේ උණුවේ. වගා ළිඳකට වැටුණහොත්, වෙඩිකා දුක් විඳින අලියෙකු දුටුවහොත්, වහා වනජීවියට දැනුම් දී ඔවුන් ගලවා ගැනීමට ක්‍රියා කරන්නේද මිනිසුන්මය.

කෙසේ වුවද මේ වැනසෙන්නේ අපේ රටේ මහා සම්පතකි. අපේ මේ සුන්දර මෙන්ම වටිනා වූ වන අලි සම්පත සුරැකීම මෙන්ම ඔවුන්ගෙන් මිනිසා රැක ගැනීමද නොවලහා කළ යුතු වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 වර්ෂයේ සිදු කළ සමීක්ෂණයේ දත්ත අනුව ජීවත්ව සිටින වන අලි සංඛ්‍යාව 5879කි. 2024 වර්ෂයේ අගෝස්තු මස සිදු කළ වන අලි සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණ කටයුතු තවමත් සිදුකරමින් කරමින් පවතින බැවින් වර්තමානයේ සංඛ්‍යාව දැනට ප්‍රකාශ කළ නොහැක.

දැනට ශ්‍රී ලංකාවේ වන ජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන විසි හයක්, ස්වභාවික රක්ෂිත නවයක්, දැඩි ස්වභාවික රක්ෂිත තුනක්, අභයභූමි හැට නවයක ප්‍රමාණයක් ඇත. මෙසේ මේ සද්දන්තයින් උදෙසා කොපමණ භූමි ප්‍රමාණයක් වෙන් කලද ඔවුන් ගම් වැදීමේ හා  දේපළ හානි කිරීමේ අඩුවක් තවමත් දක්නට නොමැත. නිවාස හා ගොඩනැගිලි ලෙස ලෙස වූ හානි ප්‍රමාණය තක්සේරු කර නොමැති මුත් පොදුවේ සිදුවූ හානි සංඛ්‍යාව දේපළ හානි ලෙස ගණන් ගෙන ඇත.

ඒ අනුව අලි ප්‍රහාර හේතුවෙන් සිදුවූ දේපළ හානි ව්‍යාප්තිය 2020 වසරේ සිට 2024 දක්වා මෙලෙස ගණනය කර ඇත.

2020 වසරේදී සිදුවූ දේපළ හානි සංඛ්‍යාව 2223ක් ලෙසද, 2021 දී 1808ක් ලෙසද, 2022 දී 2647ක් ලෙසද, 2023 දී 3429ක් ලෙසද, 2024 වර්ෂයේදී දේපළ හානි සංඛ්‍යාව 3445ක් ලෙසද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වාර්තා වලින් දක්වා ඇත. 

එලෙසින්ම වන අලි ප්‍රහාර හේතුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සංඛ්‍යාව දත්තයන් අනුව 2020 වසරේදී මිනිස් ජීවිත 112ක් ද, 2021 වසරේදී 142ක් ද, 2022 වසරේදී මිනිස් ජීවිත 146ක් ද, 2023 වසරේදී 184ක් ද, 2024 වසරේදී 155ක් වැනි මිනිස් මරණ ප්‍රමාණයක් ද වාර්තා වී ඇත. මේ මිනිස් මරණ සංඛ්‍යා ලේඛන දත්තයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගු ගත කර ඇති ආකාරය ලිපියෙහි පහතින් සටහන් කර ඇත. මේ සංඛ්‍යා ලේඛන අනුව අලි මිනිස් ගැටුමේ විනාශකාරී බව අපට මැනවින් පසක් කරගත හැකිය. මේ මහා ව්‍යවසනයට පිළියම් ලෙස කළ හැකි කාර්යයන් සහ කරනු ලබන කාර්යයන් මොනවාදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසනු ලදුව පහත සඳහන් කාර්යයන් මිනිස් ජීවිත හා දේපළ සුරැකීම සඳහා කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව පවතින විදුලි වැට නඩත්තුව හා නව විදුලි වැට ඉදිකිරීම, අලි වෙඩි බෙදා හැරීම, පීඩාකාරී වන අලි අල්ලා ඉවත් කිරීම, ගම්මාන වලට පැමිණෙන අලි පලවා හැරීම මගින් මඟින් මගින් මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ සමගම තවත් වැඩසටහන් රාශියක්ද ක්‍රියාත්මක කර ඇත. පාසැල් සිසුන් ග්‍රාමීය ජනතාව හා රජයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමද, මාර්ග දෙපස කැලෑ එළිපෙහෙළි කිරීම, අලිකොරිඩෝ පවත්වාගෙන යාම, මෙන්ම වන අලින් විසින් සිදු කරන ලද ජීවිත හා දේපළ හානි සඳහා වන්දි ලබා දීම ද, මෙම වැඩසටහන් වලට ඇතුළත් කර ඇත. මේ කටයුතු මඟින් වන අලින් නිසා පීඩා විඳින මහජනතාවට සහනයක් සැලසීම මෙන්ම එමඟින් ඔවුන් විඳින පීඩාවෙන් මුදවා ගැනීමට ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. 

මේ අප කතා කලේ මානව වර්ගයා ගැන පමණකි. කිසිසේත් පැමිණිලි කර නොහැකි, කතා කළ නොහැකි, මිනිසුන්ගේ අප්‍රමාණ හිරිහැර හමුවේ නොවිදිනා දුක් විඳින ජීවිතයෙන් සමු ගැනීමට සිදුවන දැවැන්තයන්ගේ ප්‍රශ්න ගැන කතා කිරීමට සිදුවන්නේ සංවේගයෙනි. ඔවුන්ට ඔවුනගේ වාසස්ථාන අහිමි වී ඇත. ආහාර හා ජල  ප්‍රශ්න එමටය. වගා හානි කිරීමට මෙන්ම මිනිස් ජීවිත බිළිගැනීමට පවා නොපසුබට වන්නේ එබැවිනි.

2020 වසරේ සිට 2024 වසර දක්වා වන අලි මරණ මෙන්ම ඒවා ට හේතු වූ කරුණු ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු සංඛ්‍යා ලේඛන දත්ත වල සටහන් වී ඇත්තේ මෙලෙසිනි.

2020 වසරේ වෙඩි වැදීම් නිසා වන අලි මරණ 43ක් ද, විදුලි සැර වැදීම නිසා මරණ 31ක් ද, හක්කපටස් කෑමෙන් 54ක් ද වසවිස හේතුවෙන් මරණ 8ක් ද, දුම්රිය අනතුරු වලින් මරණ 3ක් ද, මාර්ග අනතුරු හේතුවෙන් මරණ 3ක් ද, දියේ ගිලීමෙන් එක් මරණයක්ද, වගා ළිං වලට වැටීමෙන් මරණ 13ක් ද, වෙනත් අනතුරු වලින් එක් මරණයක් ද, ස්වභාවික හේතු වලින් මරණ 11ක් ද සිදු වී ඇති බව වාර්තා වල ඇත. එමෙන්ම  කුණු වී ගිය සිරුරු 17ක්ද, දිරාපත් වී ගිය සිරුරු 15ක් හමු වී ඇත. පණු ආසාදන නිසා මරණ 3ක් වාර්තා වී ඇති අතර පොලිතින් ආහාරයට ගැනීම නිසා නම් එම වසරේ මරණ වාර්තා වී නොමැත. ලේ විෂ වීම නිසා මරණ 4ක්, වෙනත් හේතු නිසා මරණ 4ක් මෙන්ම ආසාදනය වූ තුවාල හේතුවෙන් මරණ 2ක් ද හඳුනාගැනීමට නොහැකි හේතු නිසා මරණ 115ක් ද වාර්තා වී ඇත.

2021 වසරේ ඉහත කී හේතු අනුව පිළිවලින් සියලුම මරණ 375ක් ලෙස ද, 2022 වසරේදී 439ක් ද වාර්තා වී ඇති අතර එම වසරේ විශේෂත්වය වනුයේ පොලිතින් ආහරයට ගැනීමෙන් එක් මරණයක් වාර්තා වීමයි. එමෙන්ම එම වසරේ ලේ විෂ වීමෙන් මරණ වාර්තා නොවේ.

2023 වසරේ දී ඉහත කරුණු අනුව මරණ 351ක් ද, 2024 වසරේදී එලෙසින්ම මරණ 388ක් ද වාර්තා වී ඇත. මෙම මරණ වගු ගත කර ඇති ආකාරයට පිළිවලින් ඔබට ලිපිය අවසානයේ දී බලාගැනීමට හැකි වනු ඇත. 2023 වසරේ පොලිතින් ආහාරයට ගැනීම නිසා මරණ වාර්තා වී නොමැති මුත් 2024 දී එම හේතුවෙන් වන අලි මරණ දෙකක් සිදු වී ඇත. හක්ක පටස් හේතුවෙන් එම වසරේ වන අලින් 56 දෙනෙකු මිය ගොස් ඇති අතර දුම්රිය අනතුරුවලට 11 දෙනෙක් බිලි වී ඇත. 2023 වසරේ වෙඩි වැදීම්වලට ලක් වීමෙන් 98 දෙනෙකු මියගොස් තිබීම ඉතාමත් සානුකම්පිත අනුවේදනීය තත්ත්වයකි. මේ දත්තයන් අනුව ලංකාවේ වන අලින්ට අත් වී තිබෙන ඛේදනීය ඉරණම අපට සිතාගත හැක. වන අලි සුරැකීම මෙන්ම මිනිස් ජීවිත රැක ගැනීම ද කළ යුතු බව අවිවාදයෙන් පිළිගත යුතුය. මේ ඛේදනීය තත්ත්වයෙන් වන අලි මුදවා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවලක් සකසා ඇත. 

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාලනයේ පවතින භූමි ප්‍රදේශවල වාසස්ථාන වැඩිදියුණු කිරීම හා එහි පවතින වැව් හා වතුර වළවල් වැඩිදියුණු කිරීම මඟින් අලි ඇතුන්ගේ ආහාර හා ජල ප්‍රශ්නය අවම කිරීම, එමෙන්ම පවතින විදුලි වැට නඩත්තුව හා නව විදුලි වැටවල් ඉදි කිරීමෙන් වන අලින් ගම් වැදීම වළක්වා ඔවුනට සිදුවන අනතුරු හා ජීවිත හානි අවම කිරීම, එමෙන්ම අලි සංක්‍රමණික මාර්ග 16ක් හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීම ආදී ක්‍රියාමාර්ග දියත් කර ඇත. එමඟින් වන අලි ජීවිත රැක ගැනීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන කැප වීම හා මෙහෙය අගය කළ යුතුය; පැසසුම් කළ යුතුය. 

කුඹු දහසයක් නැතත් එක් කුඹුවක් සහිත මේ ජාතියේ මහා සම්පත රැක ගැනීම වනජීවී සංරක්ෂ දෙපාර්තමේන්තුවේ පමණක් නොව අපගේද වගකීමකි. ඔවුන් රැක ගැනීම, ඔවුන්ට හිංසා පීඩා නොකිරීම, මෙන්ම ඔවුන්ට අනතුරක් හෝ කරදරයක් සිදුවන විටදී වහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම අප සතු වගකීමකි. 

ඉදින් හිරු රත් පැහැයෙන් බැස යන මේ සැන්දෑවේ තරු කිරණ උරා බොන සද්දන්තයින් ඔබ මොබ සැරිසරන මේ තුරු ළපලු පිරි වන බිම මැද ඔවුන් සුරැකීමට එක් වන්න යැයි මම ඔබට ආරාධනා කරමි.

එමෙන්ම නිසි ආරක්ෂාකාරී පියවරයන් මඟින් ඔවුන්ගෙන් සිදුවන අනතුරුවලින් වැළකීම මගේ මෙන්ම ඔබගේද වගකීමයි. මේ ක්‍රියාදාමයන් හා නිබඳව අත්වැල් බැඳ සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ස්තූතිය හා ප්‍රණාමය හිමි විය යුතුමය. 

රැකෙන්න ඔබත්.. රකින්න මේ ලක්පුර වන අලි සම්පතත්.. මන්ද ඔවුන් අපේ අභිමානය හා අප සතු මහා වත්කමක් පමණක් නොව අප අවිහිංසාවටත් සත්ත්ව කරුණාවටත් නම් දරා සිටින ජාතියක් බැවිනි. “ඔවුන් රකින්න ඔබත් රැකෙන්න” මේ සොබාදහම අපට දෙන පණිවිඩයයි.

,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *