රටට ඩොලර් එන නිරතුරු-සංචාරක පුරකි සොඳුරු

සංජීවනි පද්මසේන

හරිත තුරු නිම්නයන් මැද, සුනිල්වන් දියදහරා ඇද හැලෙන කඳු ශිඛර දසතය. නිල් තුරුගොමු වියන් මැදින් හමා යන සීතල සුළඟේ නැළවෙන සුවහසක් පුෂ්පයන් බැලූ බැලූ අතය. මිහිරැති තුරුඵල රස විඳිමින් සිය කූජනයෙන් දෙසවන් පිනවන පක්ෂී රෑන් සුන්දරත්වයෙන් පිරිපුන්ය. ඉපැරණි පෞරාණික දාගැබ්, නටඹුන්, වෙහෙරවිහාර මැද ආඩම්බරයෙන් හිස ඔසවා සිටින ඓතිහාසික ස්ථාන බොහෝය.

මෙලෙසින් සඳහන් කළේ පෙරදිග මුතුඇටය වූ අප රටේ එනම් පුංචි ශ්‍රී ලංකාවේ අනුපමේය වූ සුන්දරත්වයෙන් බිඳකි. තතු ලියා අවසන් කළ නොහැකි මේ දේශයේ උදයට හිරුත්, රාත්‍රියට සඳත් පායයි. ඍතු භේදයක් නොමැති තරම්ය. පැහැදිලි කාළගුණ රටාවන්ගෙන් පොහොසත් ය. ගිනිකඳු ආදී ස්වභාවික ආපදා අවමය. සීතලම සීතල නුවරඑළියේ සිට වියළි පවන් රැළි හමන පොළොන්නරුවට වුවත් යාමට මහ විශාල කාලයක් ගත නොවේ. ඉතින් මේ සුන්දර පුරවරය සංචාරක තෝතැන්නකි. 

නිමක් නැති සුන්දර වෙරළ තීරයත්, තෙත් සදාහරිත වනාන්තර පද්ධතියත්, ඉපැරණි නටඹුන් සහිත ගවේශණාත්මක ස්ථාන රැසක් පැවතීම නිසාත් උණුසුම් පිළිගැනීමක් සහිත ආදරණීය මිනිසුන් රැසක් නිසාත් අප රටට විශාල සංචාරක ආකර්ශණයක් ලැබී තිබේ. මෙය දියුණුවෙමින් පවතින රටක් ලෙසට විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගැනීමට මහා පිටුවහලකි. 

සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමඟම ඒ හා සම්බන්ධ ඍජු හා වක්‍ර රැකියා මාර්ගයන් රැසක්ද නිතැතින්ම විවර වේ. හෝටල් හා නවාතැන් පහසුකම් සැපයීම, සංචාරක රථ හා වෙනත් ප්‍රවාහන පහසුකම් සැපයීම,කුඩා හා මහා පරිමාණ ආපනශාලා, කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාර ආදී ආදායම් මාර්ග රැසක් ඒ හරහා විවර වේ. 1977න් පසුව විවෘත ආර්ථිකය පැමිණුනි. ඒ සමඟම තව තවත් ආදායම් මාර්ග උදා වූයේ නිතැතිනි. බතික් ඇඳුම්, රන් රිදී පිත්තල භාණ්ඩ, ලී බඩු කැඩයම්, සිතුවම් හා අත්කම්, දේශීය ආහාරපාන ආදියෙන් ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණි.

එහෙත් වරින්වර ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවීම හේතුවෙන් ඒ ආශ්‍රිත ආදායම් ලබන්නන් බොහෝ අර්බුද වලට මුහුණ දුන් බව සත්‍යකි. 1980දී සිදුවූ අරගලකාරී තත්ත්වය, සිවිල් යුද්ධය, ඉන්පසු කොවිඩ් වසංගතය මෙන්ම රට මුහුණ දුන් ආර්ථික අවපාතය නිසා ද සංචාරක ආදායම පහළට වැටුණි.

මෙය මනාව වටහා ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සතු දත්ත හරහා බොහෝ පහසුය. මේ සඳහා එහි තොරතුරු නිලධාරිතුමා වන T.M.J.W. තෙන්නකෝන් මහතා මනා අනුග්‍රහයක් දක්වන ලදී. මෙම අමාත්‍යාංශය සතුව සංචාරක අංශය යටතේ තවත් ආයතන හතරක් පවතී.

  • ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
  • ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
  • ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනය
  • ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය

යනු ඒ හතරයි. 

ඉන්පසුව 2020 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය පිළිබඳව විමසා බලමු.

  • 2020 – 507,704
  • 2021 – 194, 495
  • 2022 – 799, 978
  • 2023 – 14, 087, 303
  • 2024 – 2, 053, 465

මෙහිදී ඉතා ඉහළ සංචාරක පැමිණීමක් සහිත රට එකවරම කොවිඩ් 19 අර්බුදය බරපතලව පැවති 2021 වසරේ දී අවම වූ බව නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම 2024 වැඩිම සංචාරක පැමිණීම වාර්ථා වූ වර්ෂය වූ අතර ශ්‍රී ලංකාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පැවතීම, වෙළඳ හා ආර්ථික අර්බුදය ක්‍රමයෙන් පහළ යෑම වැනි කරුණු නිසා එලෙස සිදු වී ඇති බව නිරීක්ෂණය කළ හැක. ඒ ඒ වසරවලදී රටට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ද මෙලෙස දැක්විය හැකිය.

  • 2020 – ඩො.මි. 682
  • 2021 – ඩො.මි. 509
  • 2022 – ඩො.මි. 1136
  • 2023 – ඩො.මි. 2067
  • 2024 – ඩො.මි. 3168

මෙහිදී ද අවම විදේශ විනිමය ප්‍රමාණය 2021 වසරේ දී ලැබී තිබෙන අතර වැඩිම විදේශ විනිමය ප්‍රමාණය 2024 දී ලැබී තිබේ.

2020 වසරේ දී ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය යන රටවලින් වැඩිම පිරිසක් ද 2021 දී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් ජනපදය, මාලදිවයින හා පෝලන්තයෙන් ද වැඩිම පිරිසක් පැමිණ තිබේ.2022 දී රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශයෙන් ද, 2023 දී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ කැනඩාව යන රටවලින් ද වැඩිම සංචාරක පිරිසක් පැමිණ තිබේ.

සංචාරක අමාත්‍යාංශය හරහා සංචාරකයින් පැමිණෙන කලාප ප්‍රධාන වශයෙන් කොටස් හතකට වෙන්කර ඇත. එනම් කොළඹ නගර සභාව ආශ්‍රිත කලාපය, මහකොළඹ කලාපය, දකුණු වෙරළබඩ කලාපය, නැගෙනහිර වෙරළබඩ කලාපය, මධ්‍ය කඳුකරය හා ප්‍රධාන නගර ආශ්‍රිත කලාප මෙන්ම උතුරු කලාපය වශයෙනි. මෙහිදී බොහෝ සංචාරක ආකර්ශණය දිනාගත් ප්‍රදේශ රැසක් අතරින්, අනුරාධපුර, ඇඩම්ස්පීක්, බෙන්තොට, බූන්දලනේශන්, දඹුල්ල, ගාල්ල, හික්කඩුව, කල්පිටිය, බේරුවල, ආරුගම්බේ, පින්නවල, සීගිරිය, නිලාවේලි, පාසිකුඩා, පොලොන්නරුව මෙන්ම හෝර්ටන්තැන්න ද ප්‍රධාන වේ. ඒ අතර දියඇලි ආශ්‍රිත ප්‍රදේශ, ජලක්‍රීඩා සහිත ගංඟා ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම මෑතකදී දියුණු වූ ප්‍රධාන ඇවිදීමේ මංපෙත වන පිකෝට්‍රේල් ද විශාල සංචාරක ආකර්ශණයක් දිනා ඇත.

මේ සංචාරක ව්‍යාපාරය හරහා රටට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රම කීපයකි. ග්‍රාමීය ජනතාවගේ ආදායම ඉහළ යාම හරහා රාජ්‍යය බදු ආදායම ඉහළ යයි. රේගු ගාස්තු හා ගුවන්ගත වීමේ ගාස්තු වශයෙන් මුදල් ලැබේ. සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රවේශපත් ගාස්තු, කෞතුකාගාර වනෝද්‍යාන හා නැරඹුම් ස්ථාන ගාස්තු ආදියෙන් ද රාජ්‍යය ආදායම වර්ධනය වේ. එමෙන්ම කුඩා හා මහා පරිමාණ ව්‍යාපාර හරහා පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග ඉහළ යයි.

අප රටේ සාමය හා නීතිය පැවතීමත්, සිවිල් යුධ හා ගැටුම් අවම වීම, ආරක්ෂාව තහවුරු වීම, ස්වභාවික ආපදා අවම වීම, ආර්ථික අර්බුදයෙන් මිදී ක්‍රමයෙන් ආර්ථිකය ස්ථාවර වීම වැනි කරුණු මත සංචාරක පැමිණීම ඉහළ යාමට පටන්ගෙන ඇත.

ඒ හා සමඟම සංචාරකයින්ට ඉතා ඉහළ ආගන්තුක සත්කාරයක් පිරිනැමීමට අප උනන්දු විය යුතුය. ඔවුන් කෙරෙහි බලපෑම් එල්ල කරන ඇතැම් කල්ලි වලින් ඔවුන් ආරක්ෂා කළ යුතුවාක් මෙන්ම ඔවුන්ට ලැබිය යුතු සම්පත් හා පහසුකම් වැඩි දියුණු කිරීම කළ යුතුය. අපද්‍රව්‍ය කළමණාකරණ පද්ධති දියුණු කළ යුතුය. ඔවුන්ගේ සිත් තුළ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ඇති විශ්වාසනීයත්වය තහවුරු කළ යුතුය.

රටේ ආර්ථික, සමාජයීය හා දේශීය මෙන්ම, සංස්කෘතික දියුණුව කෙරෙහිද ධනාත්මක බලපෑමක් එල්ල කිරීමට සංචාරක ව්‍යාපෘතිය සමත්ය. මෙහිදී දේශීය සංස්කෘතික සම්පත් වැඩිදියුණු කිරීම, පාරම්පරික ශිල්ප කර්මාන්ත වලට අනුග්‍රහය ලබා දීම, පාරිසරික බලපෑම් අවම කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය හා නගර සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය විදිමත් කිරීම, බලශක්ති ආකරයන් සුරක්ෂිත කිරීම, බලතොවිල් නැටුම්ගැයුම් ආදී සංස්කෘතික අංග දියුණු කිරීම, පාරම්පරික හෙළ වෙදකම දියුණු කිරීම ආදිය තුළින් සංචාරකයින් ගෙන්වා ගැනීම වැඩිදියුණු කිරීමෙන් විදේශ විනිමය ද වැඩිකළ හැක.

මෙහිදී මේ හරහා ලංකාවට ලැබුණු අහිතකර බලපෑම්ද නැතුවා නොවේ. මත්කුඩු හා මත්ද්‍රව්‍ය වෙළඳාම වැඩි වීම, ඒවාට තරුණ හා ළමා පරපුර වැඩියෙන් ඇබ්බැහි වීම, ගණිකා වෘත්තිය සීඝ්‍රයෙන් පැතිරීම, ඇතැම් පිරිස් සමාජ රෝගවලට ගොදුරු වීම ආදී අහිතකර දේවල් ද රටට ලැබීමට ඉඩ ඇත. එහෙත් මේවා මැඩ පවත්වා ධනාත්මක පැත්තට මෙම ව්‍යාපාරය නැඹුරු කරගැනීම අපගේ වගකීමයි.

සංචාරක අමාත්‍යාංශය හරහා සංචාරක කර්මාන්තයට අදාලව ඉටු කරනු ලබන සංචාරක සංවර්ධන ව්‍යාපෘති, ප්‍රාදේශීය සංචාරක ව්‍යාපෘති සහ වඩාත් ප්‍රචලිත නැති කුඩා සංචාරක ස්ථාන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ආදී ව්‍යාපෘති රැසක් දියුණු කිරීම මේ හරහා කරගෙන යයි.

උඩින් නිල් අහසත්, යටින් හරිත මහපොළොවත්, උදා හිරු කිරණත්, රැයේ සඳ වතුරත් සහිත මේ පුංචි දිවයින දිනෙන් දින දියුණුව කරා ළඟා වීම දැකීම අප  සැමගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා විශාල අනුග්‍රහයක් වන මේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම තුළින් රටට විදේශ විනිමය ලැබීම වැඩිකිරීමට කටයුතු කිරීම සියල්ලන්ගේම දියුණුවට මනා පිටුවහලක් වන කරුණකි. ලතෙත් හදවත් තුළ මනා ආගන්තුක සත්කාරවලින් සපිරුණු, උණුසුම් ගතිගුණ සහිත ලාංකීය ජනතවට එය නොකළ හැක්කක් නොවේ. ඉන්දීය සයුරේ මුතු ඇටය ලොව පුරා දීප්තිය විහිදවමින් බබළන අයුරු දකින්නට හැකි නම් එය අප සැමගේම වාසනාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *