මොහොමඩ් ආසික්
රජයේ විශ්රාමිකයින්ගේ නොවිසඳුනු ගැටළු ඉතා ඉක්මනින් විසඳන ලෙස රජයට බල කරමින් මහනුවර පාතදුම්බර විශ්රාමික සංගමය අද 11 වන දින වත්තේගම නගරයේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීය.
රාජ්ය සේවා විශ්රාමිකයින්ගේ සංගමයේ මහනුවර පාතදුම්බර ශාඛාවේ 24 වන සංවත්සර රැස්වීම අද (11) වනදා වත්තේගම නගර සභා ශ්රවනාගාරයේදී පෙරවරු 9.00 ට පැවැත්විණි.
එයට සමගාමීව ඔවුහු, රාජ්ය විශ්රමිකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්, වත්තේගම නගර සභාව ඉදිරිපිටදී ඉල්ලීම් සඳහන් පුවරු ප්රදර්ශනය කරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය පැවැත්වූහ.
වර්ෂ ගණනාවක් තිස්සේ විශ්රමිකයින්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන ලෙස පැවති රජයන්ගෙන් ඉල්ලීම් කළත් මේ වන තෙක් එයට කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දින මෙම සාමකාමි උද්ඝෝෂණය පවත්වන බව ද , වත්මන් ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඒ සඳහා විසදුම් ලබා දෙන ලෙස මෙහිදී ඉල්ලන බවද ඔවුහු ප්රකාශ කළහ.
ඒ අනුව දරාගත නොහැකි ජීවන වියදම සඳහා විසඳුම්, විශ්රාම වැටුපේ ස්ථාවර තැන්පතුවේ පොලී ප්රතිශතය 15% දක්වා වැඩි කිරීම, වැටුප් විෂමතාව ඉවත් කරලීම,අග්රහාර රක්ෂණය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙහිදී ඔවුහු ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට විශ්රාමික සංගමයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

