නිමල් කොළඹිස්ස – මහනුවර
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුලු රජයේ ආයතන 364ක් සම්න්ධයෙන් සමාලෝචන කටයුතු සිදුවන බවත්, ඒ ආයතන වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර නොමැති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද්දේ එවැනි ආයතන පිළිබඳව විද්වතුන්ගෙන් සමන්විත කැබිනට් කමිටුවක අදහස් හා තීරණ ලබා ගැනීමක් යැයි ද ඒ මහතා කීවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මහනුවර සහස් උයනේදී සංවිධාන කරන ලද සිංහල හින්දු අලුත් අවුරුදු පොළ විවෘත කිරීමේ අවස්ථාව සඳහා අද (10) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ සියලු රජයේ ආයතන උචිත ආකාරයෙන් සමාලෝචන කරන බවත් සුදුසු විෂයන් අනුව යළි ක්‍රියාක්මක කරන බවත් ඒ මහතා කීවේය.
මෙරට විශාලතම සක්‍රීය ගොවි සංවිධාන ජාලයෙන් සමන්විත ශ්‍රී ලංකා මහවැලි අධීකාරිය ඈවර කිරීමක් ද සිදු නොවන බව පෙන්වා දුන් ඒ මහතා ජල සම්පාදන කාර්යය, වගා කටයුතු, පශු සම්පත් කාර්යයන් ආදිය සම්බන්ධයෙන් එම ආයතනය තව දුරටත් විධීමත් වනු ඇතැයි පෙන්වා දුන්නේය.
විද්වත් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ගන්නා ලද තීරණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ආයතන සම්බන්ධයෙන් රජයේ තීරණ ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා, රටේ සංවර්ධනයට උචිත ආකාරයෙන් එම ආයතනවල දායකත්වය ලබා ගන්නා බව ද කීවේය.
බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මේ දිනවල සාකච්ඡා වන බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි වාර්තාව නිතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්, ව්‍යවාසයකයන් සහ පාරිභෝගිකයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.
