ප්‍රසන්න ප්‍රදීප් කුමාර
වවුනියාවේ ගොවීන් මෙවර යල කන්නය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට කලින් ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ ගොවින් මෙවර යල කන්නය වෙනුවෙන් මේ වන විට වී වගාව ආරම්භ කර දින ගණනාවක් ගතව තිබේ. පසුගිය මහ කන්නයේ මෙම ප්‍රදේශ වල ගොවීන්ට නිසි අස්වැන්නක් නොලැබුණු බවට ගොවීහු මැසිවිලි නගති. කෙසේ වෙතත් එම මහ කන්නයේදී එලෙස අස්වැන්න අඩු වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ගොවීන් සඳහන් කරන්නේ කාලගුණික වෙනස් වීම්ය.
ඒ අනුව ඉකුත් මහ කන්නයේ අස්වනු නෙලන ජනාවාරි මැද සිට පෙබරවාරි හා මාර්තු මාස පුරාවට උතුරු පළාතටම අධික වර්ෂාවක් පතිත වීම හරහා මෙසේ අස්වැන්න අඩු වූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. තවද පොහොර සහනාධාරය නිසි අවස්ථාවේ නොලද බවද ඇතැම් ගොවීහු සඳහන් කරති.
කෙසේ වෙතත් එම පොහොර සහනාධාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප කළ විමසීමකදී වවුනියාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉකුත් මහ කන්නයේදී වවුනියාවේ ගොවින් 20,404 දෙනකු සඳහා මුල්‍යමය ආධාර ලබා දී ඇති බවයි.
ඒ අනුව සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගොවින් 2,381 ක්, උලුක්කුලම් ගොවින් 1,236 ක් , මඩුකන්ද ගොවින් 2,199 ක් , කෝවිල්කුලම ගොවින් 2,325 ක්,ඕමන්තේ ගොවින් 2,633ක්, පම්පෙයිමඩු ගොවින් 3,665 ක්, කනගරයන්කුලම් ගොවින් 1,688 ක් , නෙදුන්කෙනි ගොවින් 2,473 ක් හා කුරුක්කල්පුත්තුකුලම් ගොවින් 1,814 කුට මෙලෙස ඉකුත් මහකන්නයේදී පොහොර සහනාධාරය රජය මගින් ලබාදී ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව මේ තොරතුරු සඳහන් කර සිටියේ අංක 281/13/RTI/2025/02 දරණ ලිපිය මගිනි. කෙසේ වෙතත් මෙවර යල කන්නයේ ඉකුත් වසර වලට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක වී වගා කිරීමට හැකි වනු ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයින් විශ්වාස කරණු ලබන අතර එයට මෙවර ලැබුණු අධික වැසි ඉවහල්වී ඇති බවද සඳහන් කරති.
එමෙන්ම වෙනත් වසර වලදී මහා වාරි මාර්ග හා මධ්‍යම වාරි මාර්ග යටතේ පමණක් වි වගාව සිදු කලද මෙවර බොහෝ සුළු වාරි මාර්ග යටතේද වී වගාව ආරම්භ කර තිබේ. ඒ අනුව ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර හා ජලය නිසි පරිදි ලැබෙන්නේ නම් මෙවර යල කන්නයේ ඉහළ වී අස්වැන්නක් ජාතික කෘෂි නිශ්පාදනයට එක් කළ හැකි බව ගොවි සංවිධාන නියෝජිතයෝ සදහන් කරති.


